1994 නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ හතරවන විධායක ජනාධිපති පදවිය සඳහා මැතිවරණය පැවැත්වෙන්නේ හැම අතකින්ම සුවිශේෂී තත්ත්වයන් යටතේය. එය අංශ ගණනාවකින්ම විශ්ලේෂණයට ලක්කළ හැකිය.
(I) රටේ අභ්‍යන්තර දේශපාලනය අවුල් සහගත වීම
(II) ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීම හා දිගුකාලීන ඒකාධිපති ආණ්ඩුව
(III) රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීම හා තරුණයන් අතුරුදන් වීම
(IV) ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් ලෙස ප්‍රකට වීම හා කොල්ලකාරී ආර්ථිකය
(V) අපරාධ වර්ධනය වීම හා පාතාලය නැඟී සිටීම.
(VI) නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම හා ත්‍රස්තවාදී ක්‍රියා උපරිමයෙන් දක්නට ලැබීම
(VII) උතුර හා නැඟෙනහිර රජයේ පාලනයෙන් නිදහස්ව වෙනම කලාප ලෙස පැවැතීම
මේ කාලය වන විට රටේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම් දෙකක් පැවැතිණි. ඉන් පළමුවැන්න මරණ බියෙන් තොරව ජීවත්වීම සඳහා නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනු යන්නයි. රටේ ආර්ථිකය සුබදායක නොවුවද ජනතාවගේ වැඩි සැලකිල්ල යොමු වූයේ නිදහස් ජීවිතයක් කෙරෙහිය. උතුරේ ත්‍රස්ත කල්ලි කොළඹ ඇතුළු රටේ ප්‍රධාන ස්ථානවල මර්මස්ථානවල මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හැරියහ. සමස්ත සමාජය තුළම පැතිර ගොස් තිබුණේ අවිනිශ්චිත, නොසන්සුන් මානසික පරිසරයකි. මෙවන් තත්ත්වයක් තුළ ජනාධිපති තරගයට ඉදිරිපත් වූ චන්ද්‍රිකා මැතිනිය කෙරෙහි මුළුමහත් සමාජයේම අවධානය යොමු වී තිබිණි.
චන්ද්‍රිකා මැතිනිය සිය සැමියා වූ විජය කුමරතුංග මහතාගේ ඝාතනයෙන් පසුව රට හැර ගොස් සිටි අතර නැවත මව්බිමට පැමිණෙන්නේ ජනතාවගේ ඉල්ලීම මතය. දුර්වල මට්ටමක පැවැති විපක්ෂය මේ ආගමනයත් සමඟ කිසියම් ප්‍රබෝධවත් තැනකට තල්ලු විය. රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සමිති හා ස්වේච්ඡා සංවිධාන පවා චන්ද්‍රිකා සමඟ එකට හිට ගත්හ. අලුත් බලාපොරොත්තුවක් රටපුරා ලියලා වැඩෙන්නට විය. ඒ අනුව සිවිල් සංවිධාන හා ජනතාව ක්ෂේත්‍ර කිහිපයක නිදහස උදෙසා විරෝධතා දක්වන්නට වූහ.
(I) ත්‍රස්තවාදය වළක්වනු!
(II) රාජ්‍ය ත්‍රස්තවාදය නවත්වනු!
(III) ජනමාධ්‍ය නිදහස තහවුරු කරනු!
(IV) පාතාලය මර්දනය කරනු!
(V) මිනිස් ඝාතන හා අතුරුදන්
කිරීම් නවත්වනු!
අන්තර්ජාතික මානව හිමිකම් සංවිධානවල අවධානය ද මේ අනුව ශ්‍රී ලංකාව දෙසට යොමු වී තිබිණි. සමූහ මිනී වළවල් හා අතුරුදන් කිරීම් පිළිබඳ පැමිණිලි දිගින් – දිගටම ඉදිරිපත් විය. මේ කාලය වන විට ලතින් අමෙරිකානු හා අප්‍රිකානු රටවල අතුරුදන් කිරීම්වලට එරෙහිව ලෝක සංවිධාන අතර සංවාදයක් ගොඩනැඟී තිබිණි. මධ්‍යම අමෙරිකානු රාජ්‍යයක් වන කොස්ටරිකා රාජ්‍යයෙහි සිදු වූ අතුරුදන් කිරීම් සමූහයක් මූලිකකොට මානව හිමිකම් කොමිසම වාර්තාවක් නිකුත් කරන අතර සමස්ත ලෝකයේම අවධානය ඒ කෙරෙහි යොමු වෙයි. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ සූරියකන්ද සමූහ ඝාතන ඇතුළු සිදුවීම් ගණනාවක් පිළිබඳ තොරතුරු හෙළිදරව් වෙන්නට පටන් ගනී. එය චන්ද්‍රිකා මැතිනියගේ දේශපාලන ව්‍යාපාරයට වාසි සහගත කාරණයක් විය.
ජනාධිපති තරගය සඳහා බරපතළ ප්‍රචාරක තරගයක් පැවතියේ යැයි කිව නොහැකිය. එහෙත් දේශපාලන පොරොන්දු කිහිපයක් කෙරෙහි ජනතාවගේ දැඩි අවධානය යොමු වී තිබිණි.
(I) ත්‍රස්තවාදී ගැටලුව නිරාකරණය කිරීම, ජාතික සමඟිය ගොඩනැඟීම.
(II) සමූහ ඝාතන හා අතුරුදන් කිරීම් වැළැක්වීම හා නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම.
(III) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ඇමැති මණ්ඩලය අඩු කිරීම.
ජනතා ආකර්ෂණයට අනුව චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිවරණයෙන් ජය ලබා ගත්තාය. ඇය මුළු ඡන්ද ප්‍රමාණයෙන් 62%කට වැඩි ඡන්දයක් ලබා තිබිණි. එහෙත් රජය ගෙන යෑම පහසු වූයේ නැත. පොරොන්දු ඉටුකිරීම ද පහසු වූයේ නැත. විධායක ජනාධිපති ක්‍රමය වහාම ඉවත් කරන්නේ යැයි කියූව ද අද වනතුරු ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වී නැත. යුද්ධය අවසන් වී ඇතත්, ජනාධිපතිවරයාගේ බල අධිකාරිය තවත් පුළුල් වී ඇත. ආර්ථික සංවර්ධනය පසුබෑමට ලක් වී ඇත. මේ අනුව රටේ තරුණ පරම්පරාව වෙනසක් ඉල්ලමින් කැරලි ගැසීම සාධාරණ යැයි තර්කයක් ද මතු වී ඇත.
ස්ථාවර විසඳුමක් පෙනෙන තෙක් මානයක නැත. මේ අතර දකුණු ආසියාවේ තවත් රටවල් අතර අර්බුද පැතිර යයි. මාලදිවයින, බංගලිදේශය, පාකිස්තානය ඊට නිදසුන් ය. ජනතාව මේ ගැන අවදියෙන් සිටිය යුතු කාලයක් පැමිණ තිබේ.