මධ්‍යම පළාත් සංචාරක සංවර්ධන මෙහෙයුම් කමිටු රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා (28) පැවැත්විණි.
මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි සංචාරක ආකර්ශනීය ස්ථාන හා ගමනාන්තයන් ප්‍රචලිත කරමින්, පහසුකම් සංවර්ධනය කරමින් දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය පසුබිම හා තීන්දු තීරණ ගැනීම සඳහා මෙම මෙහෙයුම් කමිටුව පළාත් වෙළෙඳ, වාණිජ, හා සංචාරක දෙපාර්තමේන්තුවේ මෙහෙය වීම යටතේ සංවිධාන කෙරිණි.
මෙම සංචාරක මෙහෙයුම් කමිටු රැස්වීමේදී ඉකුත් මෙහෙයම් කමිටු රැස්වීමේදි ගන්නා ලද තීරණවල ප්‍රගතිය විමසා බැලිමත් මෙවර කමිටුව සඳහා විවිධ අංශවලින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් යොමු කරන ලද යෝජනා, අදහස් හා ගැටළු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි.
මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා, 2018 දී සංචාරකයින් ලක්ෂ විසි තුනක් මෙරටට පැමිණි බවත්, කොවිඩ් වසංගතය හා රට තුළ පැවති තත්ත්වය හේතුවෙන් සංචාරක පැමිණිම අඩු වූ බවත්, 2030 වර්ෂය වන විට සංචාරකයින් මිලියන පහක් දක්වා වර්ධනය කර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, ඒ සඳහා සංචාරකයින්ට අවශ්‍ය සියළු පහසුකම් සැලසීමේ වැඩ පිළිවෙලක් සකස් කළ යුතු බව අවධාරණය කළ අතර මේ වසර අවසානය වන විට මිලියන දෙක ඉක්මවා යන සංචාරක පිරිසක් මෙරටට පැමිණේ යැයි අපේක්ෂා කළ බවත්, මේ වන විට සංචාරකයින්ගේ පැමිණිම මිලියන 1.4 ක මට්ටමක පවතින බැවින්, ඒ සතුටට කරුණක් බවත්, රට තුළ පවතින යටපත් තත්ත්වය ඊට හේතුව බවත්, මේ සඳහා කැපවූ සියලු දෙනා වෙත ස්තුතිය පළ කරන බවත් ආණ්ඩුකාරවරයා පැවසීය.
මධ්‍යම පළාත තුළ සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා තවදුරටත් පහසුකම් ලබාදීය යුතු, හඳුනා නොගත් නැරඹීමේ ස්ථාන ආදිය තවත් පිහිටා ඇති බවත්, ඒම ස්ථාන පසුගිය කාලයේ නිරික්ෂණය කිරීමත් සිදු කළ බවත්, එම ස්ථානයන් ද දියුණු කිරීමට වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත් ආණ්ඩුකරවරයා අවධාරණය කලේය.
මෙම මෙහෙයුම් කමිටු රැස්වීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, අධ්‍යාපන හා සංචාරක අමත්‍යාංශ ලේකම් මේනක හේරත්, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.යූ. නිශාන්ත, මහාචාර්ය ඒම්.ඒස්.ඒම්. අස්ලම්, යන මහත්ම මහත්මීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සංචාරක පොලිසිය, සංචාරක මාර්ගෝපදේශ සංගමයේ නියෝජිතයින්, සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය, සංචාරක මඟපෙන්වන්නන්ගේ සංගමය, හෝටල් සංගමයේ නියෝජිතයින් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වූහ.