පස් අවුරුදු මෙහෙයුම
බෑ කියල බෑ කියල බෑ!
පුළුවන්…!! මම ඒක කළා…!!
රටේ ආර්ථිකය පුපුරා සුන්නද්දූලි වෙලා ගිය වෙලාවේ කිසිදු දේශපාලන පක්ෂයක්, කිසිදු නායකයෙක් රට යළි ගොඩනැඟීමේ අභියෝගය භාර ගත්තෙ නැහැ. මම භාර ගත්තා. ඒ කතාව ඔබ සැවොම දන්නවා.
ඔබට මතකද වසර දෙකකට කලින් පැවති ඒ අරාජික යුගය? ගෑස් ටැංකි කර තියාගෙන පෝලිම්වල දවස් ගණන් හිටියා. අම්මා උදේ. දුව හැන්දෑවෙ. තාත්තා මහ රෑ. පුතා පාන්දර. ත්‍රීවීලරයට, වාහනයට පෙට්‍රල් ටික ගහගන්න රෑ තිස්සේ වාහන ඇතුළේ නිදිමැරුවා. තෙල් පෝලිම්වල ජීවිත හානි පවා සිද්ධ වුණා. කියන්න කෙනෙක් හිටියේ නැහැ. අහන්න කෙනෙක් හිටියෙ නැහැ. පීඩනය දරා ගන්න බැරිව ජනතාව පාරට බැස්සා. උද්ඝෝෂණ කළා. ගෙවල් ගිනි තිබ්බා. මන්ත්‍රීවරු මහ පාරේ මරා දැම්මා. අගමැතිතුමා ඉල්ලා අස් වුණා. ජනාධිපතිතුමා ඉවත් වුණා. පුරාජේරු කතා කියමින් සිටි සියලුම දේශපාලන නායකයින් බෑයි කියල, බෑයි කියල අහුමුළුල හැංගුණා.
මම යූඑන්පීයේ චිට් මන්ත්‍රීකමෙන් පාර්ලිමේන්තුවට ගිහින් උන් තනි මිනිහා. අන්තිමේදී මගේ ගෙටත් ගිනි තිව්වා. රටම ගිනි ගත්තා. ආයෙත් කවමකවදාවත් සාමකාමි රටක්, විඳවන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න පුළුවන් වෙයි කියලා කවුරුවත්ම හිතුවෙ නෑ. ඒක හීනයක්ම වුණා.
ඒත් හැමදාමත් අප්‍රමාණව රටට ආදරය කළ මට, මේ ගිනි ගන්නා රට දැක දැක හැංගෙන්න හිතුණෙ නෑ. මියෙම්වා, රැකෙම්වා කියා මං ගින්නට පැන්නා; ඒ ගින්න නිව්වා.
අද මේ රටේ මිනිස්සු හිනා වෙලා ඉන්න හැටි දකින කොට, අමාරුවෙන් හරි තුන් වේල කනවා දකින කොට, ත්‍රීවීල් යානවාහන පාරේ දුවනවා දකින කොට, කාලෙකට පස්සේ අවුරුදු උත්සව, තෛපොංගල් උත්සව, රාමසාන් උත්සව සතුටින් සමරනවා දකින කොට, වෙසක් සැරසිලි නත්තල් සැරසිලි පාර දෙපැත්තෙ ඉදි වෙන කොට, දන්සල් දහස් ගණන් රට පුරා සංවිධානය වෙන කොට මට දැනෙන්නෙ නිරාමිස සතුටක්.
එදා හැංගි හැංගි උන් දේශපාලනඥයන් අද කලඑළියට ඇවිත්, ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය බිලියන 10ක මුදල් ජාතික ආර්ථිකයට සොයා දුන් මට පස්පඩංගුවේ බැණවදින කොට මං බලා ඉන්නේ උපේක්ෂාවෙන්.
ඔව්… මං බාර ගත්තේ බංකොලොත් රටක්. දැන් අපි බංකොලොත් භාවයෙන් මිදෙමින්, ණය ප්‍රතිව්‍යූහගතකරණ කටයුතු අවසන් කරගෙන ඉදිරියට යනවා.
2019 අවුරුද්දේ මං අගමැති තනතුරෙන් ඉවත්ව ඉද්දී අපේ දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් බිලියන 89ක්. හැබැයි 2022 ජනාධිපති පදවිය භාර ගනිද්දී එය අමෙරිකානු ඩොලර් බිලියන 76.9ක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 12.1කින් පහත වැටිලා..! නමුත් 2023 අවසන් වෙද්දි අපට පුළුවන් වුණා එය ඩොලර් බිලියන 84.4ක් දක්වා ඉහළ නංවන්න.
මේ යන ගමන ඉදිරියටම ගියොත් 2025 අවසන් වෙද්දි එය ඩොලර් බිලියන 89 දක්වා ඉහළ නැංවෙනවා. එතැන් සිට දවසින් දවස එය ඉහළ නැංවෙනවා. දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යන්න යන්න අපේ ආදායම් වැඩි වෙනවා. මිල දී ගැනීමේ ශක්තිය ඉහළ නංවනවා. ජීවන තත්ත්වය උසස් වෙනවා.
මම දැන් අසීරු වැල්පාලමේ ගමන සෑහෙන දුර ඇවිත් තියෙනවා.
ඔබ දැන් කිසියම් සහනයක්, නිදහසක් ලබන්නේ පසුගිය කාලය පුරා ණය නොගෙවූ නිසා කියලා සමහරු කියනවා. ඒක ඇත්තම නෙවෙයි.
මේ අසීරු ගමන් මග තුළ අපි ණය ගෙව්වා. 2022 වසරේ ඩොලර් බිලියන 2.5ක් පමණ. 2023 දී ඩොලර් බිලියන 2.6ක් පමණ.
ඉතින් අපට වැල්පාලම තරණය කරන්න යන්න තියෙන්නේ තව ටිකයි. ඒ ටිකත් පරිස්සමෙන් සහ අමාරුවෙන් ගිහින් යහපත් අනාගතයක් හදාගන්නවාද? එහෙමත් නැත් නම් බොරු පොරොන්දු හා එක එක තාලයේ අත්හදා බැලීම්වලට රැවටිලා අගාධයට වැටෙනවාද? හිතන්න…
තවත් දෙයක්.
මම මේ සියල්ල කළේ පාර්ලිමේන්තුවේ තනි ආසනයක් තියාගෙන. නමුත් මේ ගමන යන්න අවශ්‍ය අණපනත් වගේම සැලසුම් සකස් කරන්න පක්ෂ ගණනාවක සහය ලබාගන්න මට පුළුවන් වුණා. ඒ වගේම රටට ආදරය කරන, විවිධ දේශපාලන අදහස් දරන ඔබ සියලු දෙනා මට සහය ලබා දුන්නා. අන්න ඒ නිසයි මම ස්වාධීන අපේක්ෂකයෙක් විදියට මේ ඡන්දයට ඉදිරිපත් වෙන්නේ. මම ඉදිරිපත් වෙන්නේ පක්ෂයක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් නෙවෙයි; විවිධ දේශපාලන අදහස් දරන ඔබ වෙනුවෙන්; පැරණි පරම්පරාවේ සිට අලුත් පරම්පරාව දක්වා විතරක් නෙවෙයි, උපදින්න ඉන්න අනාගත පරම්පරාවත් වෙනුවෙන්; ඔබේ අනාගතය වෙනුවෙන්; අපේ මාතෘ භූමිය වෙනුවෙන්;
ඔව්. මම ඔබ වෙනුවෙන්, රට වෙනුවෙන් ඉදිරි වසර 5 තුළ ඉතිරි ටිකත් කරනවා; රට හදනවා; නිදහසින් වසර සියයක් පිරෙන 2048 වෙද්දී ණය බරින් නිදහස් අපේ මාතෘභූමිය ලෝකයේ සංවර්ධිත, දියුණු රාජ්‍යයක් බවට පත් කරනවා. ඒ වෙන කොට මම ජීවත් නොවේවි. නමුත් මම මේ කරන්නේ 2022දී වැටුණු රට අඛණ්ඩව ගොඩ ගෙන, අනාගතය සඳහා ශක්තිමත් පදනමක් දාන එකයි.
මේ, ඔබේ හිතවත්
රනිල් වික්‍රමසිංහ
වසර දෙකක් තුළ රටම වෙනස් කළ පරිණතම අපේක්ෂකයා
රටක් හදන්න පුළුවන්, රටක් වෙනස් කරන්න පුළුවන් කතාවෙන් නෙවෙයි; ක්‍රියාවෙන්. පහුගිය අවුරුදු දෙකේ ඔහු ඒක පෙන්නුවා.
තෙල් පෝලිම්වල හිර වී පීඩා විඳිමින් සිටි ජනතාවක් ඉතා කෙටි කාලයකදී දන්සල් පෝලිම්වල සිනා වෙමින් සිටින තත්ත්වයට පත් කළා.
දෑවුරුද්දකට කලින් තත්ත්වය සහ අද තත්ත්වය සසඳා බලන්න.
අසීරු වැල්පාලමෙන් ලක් මාතාව එගොඩ කිරීමේ දැවැන්ත අභියෝගය ඔහු බාර ගත්තා. ඒ වගකීම අකුරටම ඉටු කළා.
මේ සියල්ල ඔහු කළේ සැලසුම්සහගතව; දුර දැක්මක් සහිතව.
ගෙවුණු දෑවුරුද්ද තුළ ඔහු මෙතෙක් කිසිදු ජනාධිපතිවරයකු සිදු නොකළ අන්දමට නව අණපනත් ගෙන ආවා. අලුත් නීති රීති සම්මත කළා.
රට නිවැරදි මාවතේ ඉදිරියට ගෙන යෑම උදෙසා ඔහු මෙතෙක් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් අණ පනත් සංඛ්‍යාව සියයකට ආසන්නයි. දූෂණ විරෝධි පනත, මහ බැංකු පනත, මැතිවරණ වියදම් රෙගුලාසි, රාජ්‍ය ණය කළමනාකරණ පනත, ජාතික සමගි සහ සංහිඳියා පනත, මාර්ගගත ආරක්ෂණ පනත, රාජ්‍ය ණය පනත, විදුලිබල පනත, කාන්තා සවිබලගැන්වීමේ පනත, රාජ්‍ය මුදල් කළමනාකරණ පනත, ආර්ථික පරිවර්න පනත ආදි අණ පනත් හා රෙගුලාසි ඒ අතරින් විශේෂයි.
මෙවර ජනාධිපතිවරණයට එක්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනාම එක් එක් ආණ්ඩුවල මැති ඇමැතිකම් දරපු අය; විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ආදි තනතුරු දරපු අය.
ඒ අය අතරින් ඇමැතිවරයෙක් හැටියට රටට වැඩක් ඇති වැඩ ඔහු කළා. ඔහු යොවුන් ඇමැති කාලයේ තමයි යොවුන් පරපුරේ දීප්තිමත්ම යුගය. ඔහු අධ්‍යාපන ඇමැති කාලෙ තමයි මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිමත්ම යුගය. ඔහු කර්මාන්ත ඇමැති කාලෙ තමයි මේ රට පුරා නව කර්මාන්ත බිහි වුණු යුගය. ඔහු අගමැති හා ආර්ථික ප්‍රතිපත්ති ඇමැති කාලෙ තමයි, රටේ ආර්ථිකය වඩාත්ම දියුණු වූ යුගය. වෙන මොන ජනාධිපති අපේක්ෂකයටද ඒ වගේ විජයග්‍රාහි අතීතයක් තියෙන්නෙ?
ඔහු කිහිප වරක් අගමැති පදවියේ හිටියා තමයි. ඒ හැම වෙලාවෙම ඔහුට ඉහළින් ජනාධිපති කෙනෙක් හිටියා. මීට දෑවුරුද්දකට කලින් ඔහු රටේ ජනාධිපති වුණේ ප්‍රථම වතාවට. නිදහසේ රටට වැඩක් කරන්න ලැබුණේ ප්‍රථම වතාවට. අන්ත දුක්ඛිත තත්ත්වයකට වැටිලා තිබුණු රට ඔහු දෑවුරුද්දෙන් ගොඩගත්තා, කාටවත් හිතා ගන්න බැරි විදිහට.
ඔහු විතරමයි, කයිවාරු නැතිව වැඩක් කරලා පෙන්නලා, ඔප්පු කරලා තියෙන්නෙ.
ඔහු ආ ඒ ගමන්මග ගැන බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ බණිනවා; අප්‍රසිද්ධියේ හොඳ කියනවා.
ජනාධිපතිවරයකු තෝරාගැනීම ගැන තවමත් ඔබ දෙගිඩියාවෙන් ඉන්නවා නම්, පහත දැක්වෙන අදහස් විවේක බුද්ධියෙන් කියවා බලන්න; කියවා බලා තීන්දුවක් ගන්න. රනිල්ගේ විශිෂ්ට කාර්යසාධනය ගැන මේ දේවල් කියන්නෙ අපි නෙවෙයි; ජාත්‍යන්තර දේශපාලන, ආර්ථික හා සමාජීය විෂයයන් පිළිබඳ පෘථුල අත්දැකීම් ඇති පිටරටවල්වල මහා විද්වතුන්:
“රටේ සමස්ත ආර්ථික වාතාවරණය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා රජය දක්වන කැප වීම පිළිබඳව අප සෑහීමකට පත් වෙනවා.”
– ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියෝවා මහත්මිය, 2023 සැප්තැම්බර්.
“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෙන යන ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ සැලසුම සඳහා මගේ පූර්ණ සහාය හිමි වෙනවා. රටෙහි පවතින උග්‍ර ආර්ථික අර්බුදය සමනය කිරීම අරමුණු කරගත් එතුමාගේ මෙම වැඩපිළිවෙළට ප්‍රශංසා කරමින් එතුමාගේ කැපවීම මම අගය කරනවා.”
– දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල්, 2023 සැප්තැම්බර් 19.
“ශ්‍රී ලංකාවේ වඩාත්ම අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් තුළ ජනාධිපතිතුමා අත් කරගෙන ඇති දේ වෙනුවෙන් මගේ ප්‍රණාමය පුද කිරීමට අවශ්‍යයි. වසර දෙකකට පෙර ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු රට තුළ ස්ථාවරත්වයක් ඇති කිරීමට එතුමා සමත් වී තිබෙනවා.”
– ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා, 2024 ජූලි 18.
“ආර්ථික සහ ක්‍රියාකාරි සැලැස්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති ස්ථාවර ප්‍රගතිය පිළිබඳව මම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කරනවා.”
– ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා, 2024 මැයි 5.
“ණය අර්බුදය විසඳීමට සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ඔබතුමා දක්වන නායකත්වය මම අගය කරනවා.”
– ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකො කමිකවා මහත්මිය, 2024 මැයි 4.
“මා සේවය කරන කලාපය තුළ ශ්‍රී ලංකාවේ කතාව තරම් වේගවත් යළි පිබිදීම පිළිබඳ කතාවක් තවත් නැහැ.”
– දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා, 2024 පෙබරවාරි 19.
දෑවුරුද්දක් තුළ මේ සා දැවැන්ත ප්‍රාතිහාර්යයක් පෑ විශ්වකර්ම මිනිසා රනිල්.
ජනාධිපති අපේක්ෂකයන් අතර එවැන්නෝ සිටිත්ද?
නැත්තටම නැත.
එසේ නම් ඔබගේ තේරීම විය යුත්තේ ඔහු නොවේද?
ඔව්.
රනිල්!
ථේරවාද වෙළෙඳ ආර්ථිකය
ථේරවාද වෙළෙඳ ආර්ථිකය යන්න ඔබට හුරුපුරුදු යෙදුමක් නොවිය හැකිය. අප අසා දැන උගෙන ඇත්තේ ලෝකයේ විවිධ රටවල් අතීතයේ සිට අනුගමනය කළ විවිධ ආර්ථික ක්‍රමයන්ය. ඒ සමහරක් ආර්ථික ක්‍රමයන් අසාර්ථකත්වය නිසා භාවිතයෙන් ඉවත් වූ ඒවාය.
අපි ථේරවාද වෙළෙඳ ආර්ථික ක්‍රමය යටතේ විවිධ ක්ෂේත්‍ර ඉහළට නංවමින් ආදායම් උපයන්නෙමු. ඒ පිළිබඳ තොරතුරු මෙහි දක්වන්නෙමු.
අතීත ලංකාවේ රජරට රාජධානිය ආඪ්‍යව පැවති සමයේ මෙරට ක්‍රියාත්මක වුණේ ථේරවාද සංකල්ප පදනම් කරගත් ආර්ථික ක්‍රමයක්. ඒ ආර්ථික ක්‍රමය යටතේ අප චීනයේ සිට පර්සියාව දක්වා රාජ්‍යයන් සමඟ වෙළෙඳ ගනුදෙනු කළා; ඉන්දීය සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානය ලෙස නම් දැරුවා. මුහුදු සේද මාවතේ කේන්ද්‍රස්ථානයක් ලෙස කීර්තියට පත් වුණා. විශේෂයෙන්ම මුළු පෙරදිගටම ධාන්‍ය බෙදාහැරීමේ යන්ත්‍රණය, පහසුකම් හා හැකියාව තිබුණේ අපටයි. ඒ නිසාම ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලී ලැබුවා.
13 වන ශතවර්ෂයේදී රජරට රාජධානිය කඩාවැටෙද්දී වර්තමාන තායිලන්තයේ අයෝධ්‍යා රාජධානිය ඒ වෙළෙඳ කේන්ද්‍රස්ථානය ග්‍රහණය කරගත්තා. ඒ රාජධානි දෙක ශතවර්ෂ 18ක් තිස්සේ කලාපීය වෙළෙඳපොළේ ආධිපත්‍යය දරා තියෙනවා.
මෑත ඉතිහාසයේ යළිත් ශ්‍රී ලංකාව සහ තායිලන්තය ආර්ථික ශක්තිය ඇතිකර ගැනීමට යළි වෙරදැරුවා. 1980 වසරේ අගභාගයේදී නවීන තායිලන්තය අපනයනය සහ සංචාරක කර්මාන්තය පදනම් කරගත් වෙළෙඳපොළ ආර්ථිකයකට පරිවර්තනය වුණා. ශ්‍රී ලංකාව දේශීය නිෂ්පාදනයට සීමා වී ආනයන ආදේශක ආර්ථිකයකට නැඹුරු වුණා.
(වගුව 01)
පසුගිය කාලය තිස්සේ අපේ ආර්ථික ප්‍රතිපත්ති සඳහා මූලික වශයෙන් පදනම් කරගෙන ඇත්තේ දේශීය නිෂ්පාදනයයි. එදිනෙදා අවශ්‍යතා සඳහා දේශීය නිෂ්පාදනවලින් සෑහීමකට පත් වෙන්න බැරි නිසා, හිඟ පාඩුව ආනයනය කරනවා. අය වැය පරතරය පියවාගන්නේ දේශීය හා විදේශ ණයවලින්.
බුදුන් වහන්සේ සාමඤ්ඤඵල සූත්‍රයෙන් පෙන්වා දී ඇත්තේ ණය ලබාගත යුත්තේ පරිභෝජනය සඳහා නොව, ආයෝජනය සඳහා බවයි. අප ඒ ආර්ථික සංකල්පය නොතකා හැරියා. 2022 වන විට ඩොලර් බිලියන 84ක පමණ ණය කන්දරාවක් අපේ පිට පැටවී තිබුණා. ඉන් වැඩි හරිය ගත්තේ පරිභෝජනයට. මේ නිසා අපි වසර දෙකකට කලින් ලෝකයා ඉදිරියේම නින්දාවට පත් වුණා; රට සම්පූර්ණයෙන්ම කඩාවැටුණා. 2022 වසර වෙද්දී ආර්ථිකය දරුණු හැකිළීමකට භාජනය වුණා; දළ දේශීය නිෂ්පාදිතය කඩාවැටුණා; ආර්ථිකයේ විදේශ අංශයත් බිඳ වැටුණා. මේ නිසා රුපියලේ අගය පහත වැටුණා. 2019 වසරේ රුපියල් 183.61ක්ව තිබූ ඩොලරයේ වටිනාකම 2022 වන විට රුපියල් 363.11ක් බවට පත් වුණා. 2019දී 3.53%ක්ව පැවැති උද්ධමනය 2022 වන විට 70% දක්වා ඉහළ නැග්ගා.
රට දියුණු වීමේ වේගය අඩු වෙද්දී රට පල්ලම් බැසීමේ වේගය වැඩි වුණා. ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් අප කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග දමා, රට දියුණු වීමේ වේගය වැඩි කිරීමයි.
අපි පටන් ගත්තා…
යළි නැඟී සිටීමේ අසීරු ව්‍යායාමය ආරම්භ කරමින් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පටන් ගත්තා. ඒ වෙද්දී රට තිබුණේ ඉතා දුර්වල තත්ත්වයක. සාකච්ඡා පවත්වද්දී එය අපට ලොකු අවාසියක් වුණා. නමුත් සියලු දුෂ්කරතාවන් විඳදරාගනිමින් රට යළිත් සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට අප වෙහෙසුණා. යළිත් වරක් පුරවැසියන් පෝලිම්වල රස්තියාදු වෙමින්, දුක් විඳින යුගයක් උදා නොකිරීම අපේ අපේක්ෂාව වුණා. ඒ සඳහා අප අනුගමනය කළ ථේරවාද වෙළෙඳ ආර්ථික පිළිවෙත සාර්ථක බව දැන් ලෝකයම පිළිගෙන තියෙනවා.
සැහැල්ලු වෙන ජීවන බර
අප ජීවන බර සැහැල්ලු කරන්නේ ආර්ථිකය ශක්තිමත් කරලීමේ වැඩපිළිවෙළ අනුව; එහෙම නැතිව ජනප්‍රියත්වය බලාගෙන විදේශ ණය අරගෙන ඔබට සහන දීමෙන් නෙවෙයි. එහෙම සහන තාවකාලිකයි.
අපේ පිළිවෙත නිසා 2022දී 70%ක්ව තිබූ උද්ධමනය 2024 ජූලි මාසය වෙද්දී 2.81% දක්වා පහත වැටී තිබෙනවා. රුපියල් හාරසියයකට ඔන්න මෙන්න කියා තිබුණු ඩොලරයේ අගය රුපියල් 300ට වඩා අඩු මට්ටමකට දැන් පහත වැටී තිබෙනවා. 2022 වසරේ පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 470යි; දැන් 344යි. එදා ඔටෝ ඩීසල් මිල රුපියල් 460යි; අද 317යි. විදුලි බිල අඩු වෙමින් පවතිනවා. ජල ගාස්තු පහළ වැටෙමින් පවතිනවා.
මේ නිසා ජීවන වියදම දිනෙන් දින අඩු වෙනවා. අපේ රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වී තියෙනවා.
ආර්ථිකය ශක්තිමත් වෙන්න වෙන්න ඔබේ ජීවන බර තවත් සැහැල්ලු කරන්න පියවර ගන්නවා. තව කෙටි කලකින් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ සඳහා සහන ලබාදීමටත් අපට ශක්තිය ලැබෙනවා.
බදු බරට සහනයක්
2015 සිට ක්‍රියාත්මක කෙරෙමින් තිබූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ 2019දී එවක රජය විසින් අත්හිටුවා දැම්මා. හිතුමතේ බදු කප්පාදු කළා. රජයේ ආදායම ලෝකයේ අඩුම මට්ටමට ඇදවැටුණා. අපේ රට ආර්ථික ගින්දරකට ඇදවැටීමට එයත් ප්‍රධාන හේතුවක්.
අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවන්ට එළැඹුණේ මේ ගින්දරෙන් රටක් ජනතාවත් මුදාගැනීමටයි. අප මෙවර ඔවුන් ඉදිරියට ගියේ 16 වතාවක් ඔවුන්ගේ එකඟතා කඩ කළ බංකොළොත් රටක් විදියටයි. ඒ වෙලාවේ හෙට්ටු කිරීමේ බලයක් හෝ ශක්තියක් අපට තිබුණේ නෑ. රට ඉදිරියට ගෙන යෑම සඳහා ඔවුන් යෝජනා කළ රාජ්‍ය ආදායම් පිළිබඳ ප්‍රතිපත්තිවලට එකඟ වීම ඒ අවස්ථාවේ රට බේරාගැනීම සඳහා කළ හැකි හොඳම පිළිවෙත වුණා.
ඒ නිසයි බදු පනවන්නට සිද්ධ වුණේ. එය අප කැමැත්තෙන් කළ දෙයක් නෙවෙයි. නමුත් ඒ අවස්ථාවේ වෙනත් විකල්පයක් තිබුණේම නෑ. මේ බදු නිසා විශේෂයෙන් ම වෛද්‍ය, ඉංජිනේරු, විශ්වවිද්‍යාල ආචාර්ය ආදි වෘත්තීය නිපුණයන්ට වැඩි පීඩාවක් විඳින්නට සිදු වුණා.
නමුත් අපේ ආර්ථිකය විනයානුකූලව හසුරුවමින් ශක්තිමත් තලයකට ගෙන ඒමට දැන් අප සමත්ව සිටින නිසා බදු කොන්දේසි යළි සලකා බැලීමට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟත්වය ලබාගත්තා.
ඒ අනුව දැනට ක්‍රියාත්මක වන බදු ස්තර අතර පරතරය පුළුල් කරලීමටත්, බදු ප්‍රතිශත සංශෝධනය කිරීමටත් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. තව නොබෝ දිනෙකින් ඒ යෝජනා ක්‍රියාත්මක කරලීමට අපට අවස්ථාව ලැබෙනවා.
මේ සහනයට අමතරව වෘත්තීය නිපුණයන්ට බද්දෙන් නිදහස් සේවා දිරි දීමනාවක් ගෙවීමටත් අප පියවර ගන්නවා; ඒ වගේම අතුරු බදු හේතුවෙන් බොහෝ දෙනෙක් පීඩාවට පත් වී සිටින නිසා, අප ක්‍රමානුකූලව අතුරු බදු අහෝසි කිරීමට පියවර ගන්නවා. ඉදිරි වසර දෙක තුළ මේ කාර්යයන් නිම කර බදු ගෙවන ජනතාවට සහන සලසනවා.
තායිලන්තයත් වියට්නාමයත් දෙස බලමු
මහායාන බෞද්ධ රටක් වන වියට්නාමය මෙහිදී අපට යහපත් උදාහරණයක් සපයනවා. 1990 වෙද්දී වියට්නාමය අනුගමනය කළේත්, අපේ ආර්ථික ප්‍රතිපත්තිමයි. නමුත් 1995දී වියට්නාමය තායිලන්ත ක්‍රමය ආදර්ශයට ගත්තා. එහි ප්‍රතිඵල දැන් පෙනෙන්න තියෙනවා.
(වගුව 02)
තායිලන්තය සහ වියට්නාමය වැල්පාලමේ ගමන සාර්ථක කරගත්තා. අපේ ගමන සාර්ථක කරගැනීම සඳහා දැන් අප මුල පුරා තියෙනවා. ඒ ගමන සාර්ථක වෙන්නේ පහත දැක්වෙන ඉලක්ක සපුරා ගත්තොත් පමණයි.
(වගුව 03)
ඒ වගේම මින් ඉදිරියට:
* රාජ්‍ය ගෙවීම්වල හිඟ මුදල් මාස තුනකට වඩා වැඩි කාලයක් රඳවාගෙන සිටීමට අවසර නෑ.
* අය වැය හිඟය පියවීම සඳහා මහ බැංකුව මඟින් මුදල් අච්චු ගැසීම සපුරා තහනම්.
* විදුලි සහ ඉන්ධන මිල, ඒ සඳහා වැය වන මුදල පදනම් කරගෙන තීරණය කළ යුතුයි. විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන්නේ නම්, වහාම හා ඍජුවම මහා භාණ්ඩාගාරය විසින් ඒ සඳහා මුදල් ලබාදිය යුතුයි.
* සමාජ ආරක්ෂණය සඳහා වැය කරන මුදල නියමිත ප්‍රමාණයට වඩා අඩු නොකළ යුතුයි.
මේ ඉලක්ක හා සීමාවන් ස්ථාවරයි. ඒවා ගැන යළි සාකච්ඡා කිරීමට හෝ වෙනස් කර ගැනීමට හෝ ඉඩක් නෑ. අපේ නිල ණය හිමියන් සහ චීනය අපට සහන ලබා දුන්නේ ඉහත දැක්වෙන ඉලක්ක හා සීමාවන්ට යටත්වයි. ඒ ඉලක්ක හා සීමා සපුරාගන්න බැරි වුණොත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය විතරක් නෙවෙයි, ණය සහන සියල්ලත් අහිමි වෙනවා. එහෙම වුණොත් අපට සිදු වෙන්නේ වැල්පාලමෙන් යළිත් අගාධයට ඇද වැටෙන්නයි.
ඒ නිසා අප කළ යුත්තේ මේ ඉලක්ක හා සීමාවන් අනුව අපේ ආර්ථිකය ස්ථාවර කර ගනිමින් ඉහළ ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීමයි.
මැතිවරණ සමයේ බොහෝ දේශපාලන පක්ෂ මේ ඇත්ත වසං කර විවිධ පොරොන්දු ඔබට දේවි. නමුත් ඒ කිසිවක් ප්‍රායෝගික නැහැ. ඒවා රත්තරං බිත්තර දාන කිකිළිගේ බඩ කැපුවා වගේ වැඩ. ඒ නිසයි බොහෝ අයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ප්‍රසිද්ධ සාකච්ඡාවකට එන්න බැරි.
සැපතින් පිරි රටක් කරා…
අපේ සැලැස්ම අපනයනය කේන්ද්‍ර කරගත් නිෂ්පාදන හා සේවා මඟින් ආර්ථිකය ශක්තිමත් කිරීම. ආර්ථිකය ශක්තිමත් කර ගත්තේ නැත් නම්, රටේ අන් කිසිදු අංශයක් ඉහළ නංවාලන්න බෑ. බඩගිනි රටකට ආධ්‍යාත්මික දියුණුවක් ලබාගැනීමට කිසිදු අවකාශයක් නෑ. බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ කුසගින්නෙන් පෙළෙන අයකුට බණ දේශනා කිරීමෙන් පලක් නොවන බවයි.
මේ සැලැස්ම ඔස්සේ ඉදිරියට ගියේ නැත් නම් ඉතාම කෙටි කාලයකින් අප දැවැන්ත ආර්ථික අර්බුදයකට යළිත් පත් වෙනවා. එය වළක්වාලිය හැක්කේ මේ මගම ඉදිරියට යෑමෙන් පමණයි.
හැමදාමත් ලෝකයට ණය වෙන්න අපට බැහැ. ණය ආර්ථිකයකින් රටක් ඉහළට ඔසවා තබන්නට බෑ. මේ මාවතේ ඉදිරියට ගියොත් 2048 වෙද්දී ණය නැති, සංවර්ධිත ආර්ථිකයක් අපට ගොඩනඟාගත හැකි වෙනවා.
අගහිඟකම් නැති පරපුරක්
කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා අපේ රටේ ජනතාවගෙන් 25%ක් විවිධ අගහිඟකම්වලට මුහුණ දෙනවා. හරිහමන් අධ්‍යාපනයක් ලබාගන්න පහසුකම් නෑ. පිරිසුදු වතුර නෑ. විදුලිබලය නෑ. රස්සාවල් නෑ. නිවාස දේපළ නෑ. ආවාහ විවාහ වෙලා දරු පවුල් ගොඩනඟන්න ඉඩක් කඩක් නැහැ.
අප මේ තත්ත්වය වෙනස් කිරීමට ප්‍රමුඛත්වය දෙනවා. ඉදිරි අවුරුදු 5ක කාලය තුළ මෙවැනි අනේකවිධ උවදුරුවලින් පීඩා විඳින අගහිඟ ඇති ජන අනුපාතය 10% දක්වා අඩු කරන්න අප ක්‍රියා කරනවා. ඊට පදනම සපයමින් සමාජ ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අප සකස් කර තියෙනවා.
දුගී දුප්පත්කමින් ජනතාව මුදාගැනීම සඳහා සමෘද්ධි ව්‍යාපාරයටත් වඩා පුළුල් හා දැවැන්ත වැඩපිළිවෙළක් වූ අස්වැසුම අප ආරම්භ කළා. මේ යටතේ ජීවනාධාර අවශ්‍ය පවුල් ලක්ෂ 24කට ප්‍රතිලාභ ලබා දෙනවා. දිළිඳු පවුල්වලට උපරිම 15,000ක් දක්වා දීමනා ලැබෙන අතර, ඒ පවුල්වල වකුගඩු රෝගීන්ට, ආබාධ සහිත පුද්ගලයන්ට සහ වැඩිහිටියන්ට වෙනම දීමනා ලබා දෙනවා. මෙය සමෘද්ධියට වඩා බෙහෙවින් වැඩි මුදලක්. මේ පිළිවෙත තවත් විධිමත් කරලීම සඳහා අස්වැසුම හා සමෘද්ධි ව්‍යාපාර ඒකාබද්ධ කරනවා.
අන්ත දුගීභාවයෙන් හා සමාජ පීඩාවන්ගෙන් දුක් විඳින ප්‍රජා කණ්ඩායම් ගණනාවක් අප හඳුනාගෙන තියෙනවා. ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන්වල නිත්‍ය කොටස්කරුවන් ලෙස මේ දිළිඳු පවුල් යොදවාගන්නවා. ප්‍රාදේශීය යටිතල පහසුකම් නංවන රාජ්‍ය කාර්යයන්වලට සේවක පිරිස් යොදවාගැනීමේදී මෙවැනි සමාජ කණ්ඩායම් වෙත ප්‍රමුඛතාව ලබා දෙනවා. එමඟින් ඔවුන්ගේ ආර්ථික ශක්තිය නංවාලනවා.
එවැනි ප්‍රජා කණ්ඩායම් සිටින ප්‍රදේශ හඳුනාගෙන දිළිඳුකම පිටුදැකීමේ සමස්ත වැඩසටහන්වලට අනුකූල වන පරිදි ඒ ප්‍රදේශවලට විශේෂ අවධානය යොමු කරනවා.
ලස්සන 2048කට…
අප නිර්මාණය කරන ථේරවාදි වෙළෙඳ ආර්ථිකය මඟින් රටේ සියලු පුරවැසියන්ට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් සහතික කරනවා. මේ ගමන්මග ඔස්සේ ඉහළ තරගකාරි, අපනයනය කේන්ද්‍ර කරගත් ඩිජිටල් හරිත ආර්ථික පදනමක් නිර්මාණය කරගැනීමට හැකි වන අතර 2048 වෙද්දී අපේ සියලු ආර්ථික ඉලක්ක සපුරාගත හැකි වෙනවා. මේ සංවර්ධිත අවධිය කරා යෑමට අවශ්‍ය පරිවර්තනය සඳහා පදනම් වෙන ප්‍රධාන අණපනත් අප මේ වන විටත් සම්මත කර, ක්‍රියාවට නංවා අවසන්.
මහබැංකු පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත සහ ආර්ථික පරිවර්තන පනත ඒ අතර විශේෂයි.
මේ මඟින්:
I. නව රැකියා නිර්මාණය කෙරෙන අතර, එමඟින් රැකියා වෙළෙඳපොළ පුළුල් වෙනවා; ආදායම් ඉපැයීමේ නව අවස්ථා බිහි වෙනවා.
II. ආදායම් උපයාගැනීම ඉහළ නගිනවා.
ලෝකයේ බොහෝ රටවල් දියුණුව ලබාගෙන ඇත්තේ ආර්ථිකයේ වැඩි බර පුද්ගලික අංශය වෙත තැබීමෙන්. අප නිර්මාණය කරන ථේරවාද වෙළෙඳ ආර්ථිකය ඊට වඩා පුළුල් පරාසයක් මත ස්ථාපිත කිරීමට අප සැලසුම් කරනවා.
ශක්තිමත් පුද්ගලික අංශයක් සමඟ කරට කර තරග කළ හැකි දෙවැදෑරුම් අංශ අප ආර්ථිකයට එක් කරනවා.
i. රාජ්‍ය අංශය
සමස්ත ආර්ථික ක්‍රමය පූර්ණ වශයෙන් නියාමනය කිරීමේ බලය රජය සතු වෙනවා. රජය සතු බැංකු, මූල්‍ය ආයතන සහ ව්‍යවසායන් මඟින් මෙම මෙහෙයවීම තරගකාරී පදනමකින් සිදු කරනවා.
ii. ජනතා අංශය
ජනතා අංශය යන නව සංකල්පය සඳහා පදනම් කරගන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 (2) (ඊ) වගන්තියයි.
“නිෂ්පාදනයේ, බෙදාහැරීමේ සහ හුවමාරු කිරීමේ මාර්ග රජයෙහි, රාජ්‍ය ආයතනයන්හි හෝ වරප්‍රසාදලත් අතළොස්සක් අතෙහි හෝ ඒකරාශී නොවී සහ මධ්‍යගත නොවී ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන ධර්මිෂ්ඨ සමාජ ක්‍රමයක් පිහිටුවීම.”
ජනතා අංශය ආර්ථිකයේ ශක්තිමත් පංගුකාරයකු කරලීම උදෙසා අප:
• හැම පුරවැසියෙකුටම ඉඩමක හෝ නිවෙසක අයිතිය හිමිකරලීමේ අවස්ථා උදා කරනවා.
• ජාතික ධනසම්පත (National Wealth Fund) ස්ථාපිත කරනවා.
• සමුපකාර ව්‍යාපාරය පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කරනවා.
දේපළ හිමිකම
පුරවැසියන්ට දේපළ අයිතිය ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රමවත් හා කඩිනම් කරලීම උදෙසා වෙනමම අධිකාරියක් ස්ථාපිත කරනවා. මෙමඟින් උරුමය වැඩසටහන ඔස්සේ මිලියන 2කට ඉඩම් අයිතිය ලබා දීම සහ කොළඹ නගරයේ රජය සතු අඩු ආදායම් නිවාස අයිතිය නිවැසියන්ටම පැවරීම වසර 4ක් තුළ අවසන් කරනවා.
මධ්‍යම පාන්තිකයන්ට නිවාස ඉදිකරලීම උදෙසා සහනදායි ණය ලබා දෙනවා. අඩු ආදායම්ලාභීන්ට මහල් නිවාස හිමි කරගැනීමේ අපහසුකම් සලසනවා.
වතු කම්කරු ජනතාව වෙනුවෙන් නව ගම්මාන ස්ථාපනය කෙරෙන අතර ලයින් කාමරවල වෙසෙන අයට ඉඩම් කැබැල්ලක අයිතිය ලබා දෙනවා.
ඉදිරි වසර දෙක තුළ දේශීය හා විදේශ ආයෝජන යටතේ නව නිවාස යෝජනා ක්‍රම ගණනාවක් රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් ඉදි කෙරෙන අතර දිවයිනේ සියලුම ප්‍රධාන නගර ආවරණය වන පරිදි මහල් ගණනාවකින් යුතු පොකුරු නිවාස ඉදිකිරීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයන් දිරිමත් කරනවා. මේ නිසා වර්තමානයේ ඇදවැටී ඇති ඉදිකිරීම් කර්මාන්තය වසර දෙකක පමණ කාලයක් තුළ යළිත් ශක්තිමත් කරලීමට මග විවර වෙනවා.
මූල්‍ය හිමිකම
සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් මණ්ඩල සාමාජිකත්වයට දැනට වඩා ශක්තිමත් වෘත්තීය සමිති නියෝජනයක් ලබා දෙනවා. වාණිජ මණ්ඩල නියෝජිතයන්ද ඊට එක් කරනවා. එමඟින් වඩාත් යහපත් මූල්‍ය පරිපාලනයක් සහතික කරනවා.
මේ අරමුදල් දැන් යෙදවෙන්නේ රජයේ අවශ්‍යතා සඳහා. රජයට මුදල් හිඟ වන සෑම අවස්ථාවකම භාණ්ඩාගාර සුරැකුම්පත් සඳහා මෙම අරමුදල් ලබා ගන්නවා. අප ඒ තත්ත්වය වෙනස් කරනවා. ආර්ථිකය ශක්තිමත් වෙද්දී, රජයේ කටයුතු සඳහා අරමුදල් උපයෝගී කරගැනීම අවම මට්ටමකට ගෙන එනවා.
එවිට අරමුදල් වැඩි ආදායම් උපයාගත හැකි දේශීය හා ජාත්‍යන්තර සුරක්ෂිත මූල්‍ය ආයතනවල ආයෝජනය කිරීමට අවකාශය සැලසෙනවා. 2030 වෙද්දී සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් අපේ රටේ විශාලතම ආයෝජන අරමුදල බවට පත් කරනවා. මෙමඟින් අරමුදලේ සාමාජිකයන්ට වැඩි ප්‍රතිලාභ හිමි කර ගැනීමේ අවස්ථාව හිමි වෙනවා.
• ජාතික ධන සම්පත (National Wealth Fund)
අය වැය අතිරික්තය සහ රාජ්‍ය ආයතනයන්ගේ ලාභ එක්කොට ජාතික ධන සම්පත් පිහිටුවනවා. දේශීය සහ ජාත්‍යන්තර කොටස් වෙළෙඳපොළවල මේ මුදල් ආයෝජනය කරනවා.
• සමුපකාර
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව හා තරගකාරි අභියෝගයන්ට මුහුණ දිය හැකි වන පරිදි සමුපකාර ව්‍යාපාරය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කරනවා. සමුපකාර කළමනාකරණයට දේශපාලන සහ රාජ්‍ය මැදිහත්වීම් සිදු කළ නොහැකි ආකාරයට නව නීති හඳුන්වා දෙනවා. ස්කැන්ඩිනේවියානු රටවල ක්‍රියාත්මක සමුපකාර මොඩලයට අනුකූලව නව සමුපකාර නීතිරීති මාලාවක් සම්මතකොට සමුපකාර ව්‍යාපාරය වර්තමාන තරගකාරිත්වයට මුහුණ දිය හැකි ශක්තිමත් තලයකට ඔසවා තබනවා.
ක්‍රියාන්විතය – 2025න් ඔබ්බට…
මේ ක්‍රියාන්විතය 100%ක්ම ප්‍රායෝගිකය. රටේ ඉදිරි සංවර්ධන වේගය සහ රාජ්‍ය ආදායම සම්බන්ධ විද්‍යාත්මක නිශ්චිත අදහසක් පාදක කරගෙන, රජයට මධ්‍ය කාලීන වශයෙන් වැය කළ හැකි – සංචලනය කළ හැකි – සම්පත් ප්‍රමාණය කොපමණද යන්න මත පිහිටා සකස් කළ එකකි. සියලු කාර්යයන් දින වකවානු සහිතව පෙන්වා දී ඇත්තේ එහෙයිනි.
දේශගුණයේ ගුණ අගුණ
නිවර්තන කලාපයේ රටක් ලෙස විවිධ දේශගුණික විපර්යාසයන් ගණනාවක් අනාගතයේ අප ඉදිරියේ තියෙනවා. උණුසුම ඉහළ යෑම, වර්ෂාපතනයේ වෙනස්වීම්, මුහුදු මට්ටම ඉහළ යෑම ඒ අතරින් කීපයක්. නිරන්තරයෙන් ස්වාභාවික විපත්වලට ලක් වන දිස්ත්‍රික්කවල විපත් ප්‍රත්‍යස්ථිති නගර ඉදි කරනවා.
මේ ගැටලු කල් තියා දැක අප පසුගිය අවුරුදු දෙක තුළ ඒ වෙනුවෙන් පියවර ගත්තා. ඒ ඔස්සේ හරිත රාජ්‍යයක් සඳහා අප වෙහෙසුණේ ගෝලීය දේශගුණ විපර්යාසයන්වල අගුණ අපේ රටට ගුණදායක කර ගැනීමටයි.
දේශගුණ විපර්යාස පිළිබඳ ලෝක වැඩපිළිවෙළෙහි ප්‍රමුඛත්වයක් මේ වන විට අප දිනාගෙන තියෙනවා. දේශගුණ සාධාරණීකරණ සංසදය, දේශගුණ සමෘද්ධි සැලැස්ම, දේශගුණික විපර්යාස ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ආදී වැඩසටහන් ගණනාවකට අප මුල පුරා තියෙනවා.
ගෝලීය උතුරේ සහ දකුණේ රටවල් එකතුව ලෝක දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා ප්‍රංශයේ මූලිකත්වයෙන් ඇති කරගත් ගෝලීය ගිවිසුමෙහි අප ප්‍රධාන කොටස්කරුවෙක්. ඒ වගේම දකුණු ගෝලීය රටවල් පදනම් කරගෙන ඉන්දුනීසියාව විසින් ආරම්භ කළ ගෝලීය මිශ්‍ර මූල්‍ය ප්‍රයත්නය සඳහා ද අප එක් වී සිටිනවා. නිවර්තන කලාපයේ පරිසර ආරක්ෂාව වෙනුවෙන් අප මේ වන විට නිවර්තන කලාපීය ප්‍රයත්නය ආරම්භ කර තියෙනවා.
මේ කාර්යයන් සඳහා ක්‍රියාශීලිව සහභාගි වීමෙන් අපේ ආර්ථිකයට ශක්තියක් ලබාගැනීමේ අවස්ථාවත් උදා වෙනවා. ඊට පසුබිමක් සකසමින් දේශගුණ විපර්යාස පනත අප ක්‍රියාවට නංවනවා.
දේශගුණික කාර්යයන් පිළිබඳ මහ ලේකම් කාර්යාලය ස්ථාපිත කර, දේශගුණ විපර්යාස අරමුදලක් ස්ථාපිත කරනවා. අපේ පරිසරය ආරක්ෂා කරගනිමින්, දේශගුණ විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණ දීමේ අවකාශ අප එමඟින් උදා කරගන්නවා.
ජෛව විවිධත්වය අතින් අනූන ශ්‍රී ලංකාවේ ජෛව පදනම ආරක්ෂා කිරීමට හා අනාගත පරම්පරාවට උරුම කර දීම පිණිස නව ජෛව විද්‍යා නීතියක් හා නියාමන ආයතනයක් ස්ථාපනය කරනවා.
අපේ පස් අවුරුදු වැඩ සැලැස්මෙහි දැක්වෙන කෘෂිකර්ම, කර්මාන්ත, බලශක්ති ආදි විවිධ ක්ෂේත්‍රයන් සඳහා දේශගුණ විපර්යාස පදනම් කරගත් පරිසර හිතකාමි ක්‍රියා පිළිවෙත් හඳුන්වා දෙනවා. ඒවා ගැන ඉදිරියේදී ඔබට කරුණු පැහැදිලි වේවි. දැනටමත් අප මේ සියලු කාර්යයන් සඳහා මුල පුරා තියෙනවා.
නවීන කෘෂි සංස්කෘතියක්
වර්තමානයේ ලෝක ජනගහනය බිලියන 8ක් පමණ වෙනවා. 2050 වෙද්දී මෙය 29%කට ආසන්න ප්‍රමාණයකින්, එනම් 9.8 දක්වා වැඩි වෙනවා. මේ වැඩි වන ජනගහනය වෙනුවෙන් ආහාර භෝග අදට වඩා වැඩි වැඩියෙන් අවශ්‍ය වෙනවා.අන්න ඒ අවශ්‍යතාවෙන් ඉතා සුළු ප්‍රතිශතයක් හෝ සැපයීම අපේ ඉලක්කය විය යුතුයි.
ඒ සඳහා ඉහළ තරගකාරි අපනයනය ඉලක්ක කරගත්, වැඩි ආදායම් ලබන නවීන කෘෂි සංස්කෘතියක් හඳුන්වා දෙනවා. විදේශ වෙළෙඳපොළ අරමුණු කරගත් කාබනික වගාවන් දිරිමත් කරනවා. පොහොර, උපාංග සහ නවීන යන්ත්‍රෝපකරණ ගොවියාට සපයනවා. ගොවි නිෂ්පාදන ඍජුව ගොවියාගෙන්ම මිල දී ගන්නා සැපයුම් ජාලයක් නිර්මාණය කරනවා. ග්‍රාමීය කෘෂිකර්මාන්තය දියුණු කරලීම උදෙසා ශීතාගාර ජාලයක් රට පුරා ස්ථාපිත කරනවා. ගෙවතු වගා, නාගරික මහල් නිවාස ආශ්‍රිත යැපුම් භෝග වගාව ව්‍යාප්ත කරනවා.
රජය සතු ඌන උපයෝජිත ඉඩම්වලින් අලුතෙන් ඉඩම් අක්කර ලක්ෂ 3ක් අපනයන කේන්ද්‍රීය වාණිජ භෝග වගාවන් සඳහා වෙන් කරනවා.
උරුමය සින්නක්කර ඔප්පු හිමි ගොවියන්ට සිය වගාවන් තව තවත් වැඩි දියුණු කරගැනීම උදෙසා උපදෙස් සහ සහය ලබා දෙනවා. ඒ ඉඩම් ඵලදායී භෝග වගාවන්ටත්, වෙනත් කෘෂි ව්‍යවසායයන් පාදක කාර්යයන් වෙනුවෙන් යෙදවීමත් දිරිමත් කරනවා.
භෝග ප්‍රවාහනය, අස්වැන්න නාස්ති නොවන ලෙස ගබඩා කිරීම හා අලෙවිය නවීකරණය කරනවා.
දේශීය ආහාර ප්‍රචලිත කරලීම උදෙසා රජයේ මැදිහත්වීමෙන් සංවිධානාත්මක වැඩපිළිවෙළක් දියත් කරනවා.
කෘෂිකර්මාන්ත කටයුතු සඳහා මෙන්ම එදිනෙදා ජල අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා මල්වතු ඔය, තල්පිටිගල සහ වයඹ ඇල ව්‍යාපෘති කඩිනමින් නිම කරනවා. මෙම ව්‍යාපෘතීන්ගේ පළමු අදියර 2030 වෙද්දී නිම කරනවා.
වී ගොවිතැනට අවශ්‍ය පොහොර හෝ වෙනත් අවශ්‍යතා සපුරාගැනීම සඳහා රුපියල් 25,000ක සහනාධාර මුදලක් ඍජුවම වී ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත ලබා දෙන අතර, කන්නයෙන් කන්නයට සහතික මිලක් නියම කරනවා.
මහ සයුරේ රළ පතරේ
රට වටේ මහ මුහුද තිබුණත් ධීවර කටයුතු සඳහා මුහුදු යන්නේ අප සතු බෝට්ටු ප්‍රමාණයෙන් 40%කටත් වඩා අඩුවෙන්. ඒ නිසා මහමුහුදෙන් උපරිම ඵල ලබාගැනීමට හැකි වන සැලසුමක් දේශීය හා විදේශීය විශේෂඥයන්ගේ මූලිකත්වයෙන් අප ක්‍රියාවට නංවනවා. එමඟින් වර්තමානයේ ධීවර සම්පත් අපනයනයෙන් මේ වන විට අප උපයන ඩොලර් මිලියන 300ක පමණ මුදල දෙගුණ කරගන්නවා.
මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, ඉස්සන් වගාව, ජලජ ශාක, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා දිරි දෙමින්, ඒ අංශ වඩාත් ප්‍රචලිත කරනවා.
රට පුරා ඇති ධීවර වරාය නවීකරණය කරනවා. ඒවා ධීවර ආර්ථික මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කරනවා. මේ ක්‍රියාවලිය සඳහා ධීවර සමිති, ධීවරයන්, ආයෝජකයන් සහ විශේෂඥයන් සම්බන්ධ කරගන්නවා.
කුඩා ධීවර යාත්‍රාවන්ගේ සිට බහුදින ධීවර යාත්‍රා දක්වා මිලදී ගැනීම සඳහා සහන ක්‍රමවේදයන් දියත් කරනවා.
ධීවර කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් ඍජු විදේශ ආයෝජන දිරිමත් කරනවා.
ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට සරිලන අයුරින් ධීවර කර්මාන්තය නවීකරණය කිරීමට පියවර ගන්නවා. නවීන යාත්‍රා, උපකරණ හා තාක්ෂණය භාවිත කිරීමට ධීවර ප්‍රජාවට සහය ලබා දෙනවා.
වසර කීපයක් තුළ ධීවර ප්‍රජාවගේ ජීවන තතත්ත්වය ඉහළ නැංවීමට මෙම වැඩපිළිවෙළ ඔස්සේ හැකියාව ලැබෙනවා.
ධීවර වරාය වටා ධීවර නගර සංවර්ධනය කොට, නිවාස සහ අනෙකුත් ප්‍රජා පහසුකම්වලින් ධීවරයන් සන්නද්ධ කරනවා. දැනට භාවිත වන ධීවර නිවාසවල තත්ත්වය උසස් කිරීමට පියවර ගන්නවා. ධීවරයන්ට සහනයක් වනු පිණිස ඉන්ධන සහනාධාරය ඍජුවම ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත ලබා දීම දැනටමත් ආරම්භ කර තියෙනවා.
මේ සියලු වැඩකටයුතු 2025 වසර තුළ ආරම්භ කරනවා.
සාගර පතුලේ ඇති විවිධ සම්පත් පිළිබඳ තවමත් අප නිසි අවධානය යොමු කර නැහැ. ජාත්‍යන්තර විශේෂඥ දැනුම සහ අත්දැකීම් උපයෝගි කරගනිමින් මේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා දීර්ඝ කාලීන වැඩ සැලැස්මක් අප ක්‍රියාවට නංවනවා.
මේ සියලු සැලසුම්වල මුල් අදියර 2025 සහ 2029 අතර ක්‍රියාවට නංවනවා.
කිරි නැති හින්දා රට කිරි දීලා…
අපට අවශ්‍ය කිරි ප්‍රමාණයෙන් තවමත් රට තුළ නිෂ්පාදනය කෙරෙන්නේ 35%ක් පමණයි. කිරි අස්වැන්න නැති නිසා මිල්කෝ සමාගමේ නවීන යන්ත්‍රාගාර බොහොමයක් ක්‍රියාත්මක වන්නේ අවුරුද්දේ කෙටි කාලයක් පමණයි.
මේ නිසා කිරි ආනයනය සඳහා වසරකට ඩොලර් මිලියන 282 ක් පිටරටවලට ඇදී යනවා.
අඹේවෙල පුද්ගලික ගොවිපොළේ දිනකට එළ හරකෙකුගෙන් කිරි ලීටර 35ක් ලබාගනිද්දී අපේ රටේ අනෙකුත් කිරි ගොවීන් ලබාගන්නා සාමාන්‍ය අගය ලීටර 5ක පමණ ප්‍රමාණයක්.
මේ තත්ත්වය වෙනස් කරමින් ජාතික පශු සම්පත් මණ්ඩලය සමඟ ඉන්දියානු තාක්ෂණය හා දේශීය විදේශීය ආයෝජකයන් සම්බන්ධ කරමින් කිරි අස්වැන්න ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරනවා.
මේ වැඩ සැලැස්ම ඔස්සේ:
• ලීටර මිලියන 380ක් වූ වත්මන් වාර්ෂික කිරි නිෂ්පාදනය 2035 වෙද්දී ලීටර මිලියන 820 දක්වා ඉහළ නංවනවා.
• එවිට දිවයිනේ සියලු පාසල් දරුවනට නොමිලේ නැවුම් කිරි වීදුරුවක් දිනපතා ලබා දීමට හැකි වනවා.
• කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වූ විට, දැනට කිරි ආනයනය සඳහා වසරකට පිටරටවලට ඇදී යන මුදල් ඉතිරි වන අතර, අතිරික්තයෙන් සිදු කෙරෙන කිරි ආශ්‍රිත නිෂ්පාදනවලින් මුදල් ඉපැයීමේ අවකාශයද උදා වනවා.
• 200,000කට අධික කුඩා කිරි ගොවීන්ට සහ ව්‍යවසායකයන්ට උසස් ජානමය සතුන්, සත්ත්ව ආහාර, බේත් හේත්, එන්නත්, කෘත්‍රිම සිංචනය සඳහා පහසුව සලසනවා.
• උසස් ජානමය කිරි හරකුන් 20,000ක් 2025 වසර තුළ දේශීය කිරි ගොවියන් වෙත ලබා දෙනවා.
• මේ වැඩපිළිවෙළ ඔස්සේ 2035 වෙද්දී දේශීය කිරි ගොවියන්ට ලැබෙන ආදායම රුපියල් බිලියන 40 ඉක්මවනවා. එමඟින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වෙනවා.
• දේශීය කිරි ගොවීන් වෙනුවෙන් සහන ණය ක්‍රමයක් ආරම්භ කරනවා.
• දේශීය කිරි ගොවීන්, එක් කිරි හරකෙකුගෙන් දිනකට ලබාගන්නා කිරි අස්වැන්න ලීටර 20 දක්වා ඉහළ නංවනවා.
මේ වැඩපිළිවෙළේ පළමු අදියර 2025 සහ 2035 දශකය තුළ නිම කරනවා.
යන්න රට වටේ
ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක්.
සංචාරකයන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉහළ තලයකට ගෙන එමින්, වර්තමානයේ මිලියන 2.5ක් වූ සංචාරකයන්ගේ පැමිණීම ඉදිරි පස් වසර තුළ මිලියන 5 දක්වා ඉහළ නංවනවා. වර්තමානයේ එක් සංචාරකයෙකුගෙන් රටට ලැබෙන දළ ආදායම අමෙරිකානු ඩොලර් 150ක්. එය 2035 වන විට අමෙරිකානු ඩොලර් 500 දක්වා ඉහළ නංවනවා.
කොළඹ, ගාල්ල, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය සංචාරක කේන්ද්‍රස්ථාන ලෙස සංවර්ධනය කරනවා. නැඟෙනහිර වෙරළ සහ යාපනය ප්‍රධාන පෙළේ සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසනවා. දකුණු වෙරළ තීරයට ඇති ඉල්ලුම තව තව වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. සංචාරක ව්‍යාපාරය කඳුකරයට ව්‍යාප්ත කරනවා.
සංචාරකයන් ප්‍රමාණය වැඩි කිරීම වෙනුවෙන් ඔක්තෝබර් 01 වන දින සිට රටවල් 35ක් වෙනුවෙන් නිදහස් වීසා ක්‍රියාත්මක වෙනවා.
අනුරාධපුරය, සංස්කෘතික උරුමයේ නගරයක් බවට පත් කොට, සීගිරිය තරමටම ලෝකයේ ප්‍රචලිත කරනවා.
නව සංචාරක කලාප ගණනාවකට කටයුතු ඉදිරි පස් වසර තුළ නිම කරනවා.
• ඉරණවිල අක්කර 400
• බෙන්තොට අක්කර 1000
• හපුතලේ – වැලිමඩ අක්කර 100
හෝටල් සහ ලැගුම්හල් ප්‍රතිසංස්කරණය කිරීම, නව හෝටල් ඉදිකිරීම ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ විවිධ කාර්යයන් සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරි ආයෝජන දිරිමත් කරනවා.
මෙම කාර්යයන් 2025 වසරේ ආරම්භ කර 2033 වෙද්දී අවසන් කරනවා.
අපේ නිෂ්පාදන ජාත්‍යන්තරයට
ආර්ථිකයේ ඉදිරි පිම්ම පනින්න නම්, අපේ කර්මාන්ත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරග කළ හැකි මට්ටමකට ඔසවා තැබිය යුතුයි. දැනට අප ඇඟලුම්, කාර්මික වාහන සඳහා ටයර් ආදියෙන් ජාත්‍යන්තර නමක් දිනා තියෙනවා.
මේ තත්ත්වය පුළුල් කරලීමට නව තාක්ෂණය පදනම් කරගෙන නිර්මාණය වූ නවීන යන්ත්‍රෝපකරණ හා තාක්ෂණය මෙරටට ලබා ගන්නවා.
ජාත්‍යන්තර ආයෝජන, තාක්ෂණය සහ විශේෂඥ දැනුම අප උපරිමයෙන් යොදාගන්නවා. නිෂ්පාදන ආර්ථිකය පෝෂණය කරලීම සඳහා වර්තමානයේ ඇති සියලු බාධා ඉවත් කරනවා.
ආයෝජන ප්‍රවර්ධනය සඳහා නව ආර්ථික කොමිසමක්ද, රටේ ඵලදායි තත්ත්වය නැංවීමේ අරමුණ ඇතිව ජාතික ඵලදායිතා කොමිසමද, ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ කාර්යාලයක්ද ස්ථාපිත කරනවා.
බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවික, ගුවන්, කර්මාන්ත ආදි අංශයන්ගෙන් සන්නද්ධ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට ත්‍රිකුණාමලය පත් කරනවා. මේ කාර්යයන් සඳහා ඉන්දීය සහය ලබාගන්නවා.
i. බිංගිරිය ආයෝජන ප්‍රවර්ධන කලාපය පුළුල් කරලීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තියෙනවා.
ii. කන්කසන්තුරේ, පරන්තන් සහ මාන්කුලම් අක්කර 1,000ක නව ආයෝජන කලාපය පිහිටුවීම 2025දී ආරම්භ කරනවා.
iii. 2027 වෙද්දී දොම්පෙ අක්කර 120ක නව ආයෝජන කලාපයක් ඉදි කරනවා සපුගස්කන්ද ආයෝජන ප්‍රවර්ධන කලාපය පුළුල් කරමින් එයට තවත් අක්කර 400ක් එක් කරනවා.
iv. අක්කර 4,000ක් පුරා ඉදි වන හම්බන්තොට ආයෝජන කලාපයේ පළමු අදියර 2026දී අරඹනවා.
v. මහනුවර නගරය කේන්ද්‍ර කොටගෙන අක්කර 100ක පමණ තාක්ෂණ කලාපයක් 2026දී ස්ථාපිත කරනවා.
මහා පරිමාණ ව්‍යාපෘති හා කර්මාන්ත ඇරඹීම වෙනුවෙන් අරමුදල් සම්පාදනය කිරීම උදෙසා ජාතික සංවර්ධන බැංකුව 2025 දී ආරම්භ කරනවා.
නිෂ්පාදන කර්මාන්ත සඳහා දිරි දීමට දැනට ආයතන ගණනාවක් ක්‍රියාත්මක වීම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විවිධ අපහසුතාවන්ට පත් කෙරෙන්නක්. ඒ නිසා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නමින් නව ශක්තිමත් ආයතනයක් 2025 වසරේදී ස්ථාපිත කරනවා.
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි පසුබෑමකට ලක් වුණා. ඔවුන් යළි නඟාසිටුවීම වෙනුවෙන් දැනටමත් පියවර ගණනාවක් ගෙන තිබෙනවා. ඔවුන්ට ලබා දෙන ලක්ෂ 25 දක්වා වූ ණය මුදලේ පොලී අනුපාතය 5% මට්ටමට ගෙන එනවා. මහා භාණ්ඩාගාරයේ මේ වෙනුවෙන් විශේෂ ඒකකයක් පිහිටුවා, සම්බන්ධීකරණ කාර්යයන් සිදු කරනවා.
පළාත් මට්ටමින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමට අවශ්‍ය මුදල් පළාත් සභා වෙත ලබා දෙන අතර, මාර්ගෝපදේශ මෙන්ම නිෂ්පාදන අලෙවිය සම්බන්ධ උපදෙස්ද ලබා දෙනවා.
දැනට ක්‍රියාත්මක වන සහ යෝජිත ආර්ථික මධ්‍යස්ථාන හරහා ඔවුන්ගේ නිෂ්පාදන අලෙවියට මං සලසනවා. සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ගැටලු සොයා බලා, ඒවා නිරාකරණය කරලීමට විශේෂ වැඩපිළිවෙළක් දියත් කරනවා.
සියලු නිෂ්පාදන කර්මාන්ත පරිසර ආරක්ෂිත පදනමක පිහිටා ආරම්භ කරනවා. කර්මාන්තවලින් සිදු වන පරිසර දූෂණය අවම කරලීම උදෙසා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත විමෝචන වෙළෙඳ ක්‍රමවේදය හඳුන්වා දෙනවා. පරිසරයට මුදාහැරෙන අහිතකර වායු විමෝචනයන් එමඟින් පාලනය කරගන්නවා.
කාබන් බද්දක් හඳුන්වා දීමට පියවර ගන්නවා.
විශ්ව ශක්තියට බලශක්තිය
හරිත හයිඩ්‍රජන් ඇතුළු පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සඳහා ආයෝජන දිරිමත් කරනවා.
2030 වෙද්දී විදුලි සැපයුම් ජාලයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගන්නවා. ශ්‍රී ලංකාව හරිත බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත්කොට, ඉන්දියාව සහ අසල්වැසි රටවලට බලශක්තිය අපනයනය කරනවා.
ස්වාභාවික වායු විදුලිබල නිෂ්පාදනය ව්‍යාප්ත කරනවා.
ඉදිරි වසර කිහිපය තුළ බලශක්තිය සඳහා පුරවැසියන්ට දැරීමට සිදු වන පිරිවැය අඩු කර, විදුලිය, ඉන්ධන සහ ගෑස් කිසිදු හිඟයකින් හෝ කප්පාදුවකින් තොරව ලබා දීම සහතික කරනවා.
ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය කරනවා.
ඉතිරි කොටස සැප්තැම්බර් 02 වැනිදා සඳුදා පුවත් පතේ පළ වේ.