ඉන්දීය ධීවරයින් රැගත් බෝට්ටුවක් කච්චතිව් මුහුදේදී අනතුරට පත්වීමෙන් පසුව නාවික හමුදාව විසින් දිවි බේරාගත් ඉන්දීය ධීවරයින් දෙදෙනා පලාලි ගුවන් තොටුපොළින් චෙන්නායි බලා පිටත්කොට යැවීමට පියවර ගන්නා බව යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය ඊයේ (29) නිවේදනය කොට තිබේ.
නාවික හමුදාව විසින් බේරාගත් ඉන්දීය ධීවරයින් දෙදෙනාව ඩෙල්ෆ්ට් පොලිසිය වෙත භාර දීමෙන් පසුව පොලිසිය ඔවුන් දෙදෙනාව යාපනයට රැගෙන විත් ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයට භාර දී ඇත.
ඔවුන්ව භාර ගැනීමෙන් පසුව කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් රජයට හා නාවික හමුදාවට ප්‍රශංසාව පළකොට ඔවුන්ව ගුවනින් චෙන්නායි වෙත යැවීමට පියවර ගන්නා බව සඳහන් කොට තිබේ.
ඉන්දීය ධීවරයින්ට අයත් බෝට්ටුව පෙරළී අනතුරට ලක් වීමෙන් ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු මුහුදේ ගිලුණු අතර, නාවික හමුදාව විසින් දෙදෙනෙකුගේ දිවි ගලවා ගෙන තිබුණි. අතුරුදන් වූ ඉන්දීය ධීවරයින් දෙදෙනා සෙවීමේ මෙහෙයුම් කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතී.