කල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසලක සිසුන් සිව් දෙනෙකු පාසල නිමවී පිටතට එමින් සිටියදී පාසලට නුදුරින් මහ මඟදී සිසුවෙකුගේ පියෙකු විසින් පහරදීමේ සිද්ධියක් හේතුවෙන් සිසුන් සිව්දෙනා රෝහල්ගත කොට ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. පාසලේ අවසාන කාලඡේදය තුළ, පසුගිය 27 වැනිදා නව වැනි ශ්‍රේණියේ සිසුන් තිදෙනෙකු එම පන්තියේම සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සිදුවී ඇත. අනතුරුව එම පහර කෑමට ලක්වූ සිසුවා ඔහුව කැටුව යෑමට පැමිණි සිය පියාට සිද්ධිය සැලකිරීමත් සමඟ කෝපයට පත් පියා එම සිසුන් තුන්දෙනාටත් ඔවුන් සමඟ සිටි අට වසරේ තවත් සිසුවෙකුටත් පහර දී ඇත.
මෙසේ පහර කෑමට ලක් වූ 13 හැවිරිදි දරුවෙකු සහ 14 හැවිරිදි දරුවෙකු කල්පිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. තවත් දරුවන් දෙදෙනෙකු සහ දරුවන් විසින් පහර දුන්නා යැයි කියන සිසුවකු ද ඇතුළුව 14 හැවිරිදි දරුවන් තිදෙනෙකු පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබති.
මෙසේ පහර කෑමට ලක්ව රෝහල්ගතකර ඇත්තේ ඒත්තාල ආලංකුඩාව පදිංචි 13 හැවිරිදි ඒ.එෆ්. තුෂර කවිශාන්, 14 හැවිරිදි වියේ පසුවන අවිශ්ක මල්ශාන් මිරැන්ඩා, එච්.එම්. කවින්ද නිසල්ක සහ එම්. කවිශ්ක සඳරුවන්ය. සිසුන්ගෙන් පහර කෑවා යෑයි රෝහල්ගතව සිටින්නේ 14 හැවිරිදි සහන් සශිකය. අප මේ පිළිබඳව කල්පිටිය ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීනියකගෙන් විමසීමේ දී සිද්ධියට අදාළ පහර දුන් බවට සැක කෙරෙන තිහලිය පදිංචි 45 හැවිරිදි පියා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පවසයි.