සරසවිය රණ තිසර සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ ගායන ශිල්පි ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද අමරසිරි පීරිස්, රවීන් කණිෂ්ක හා ඉවන්කා පීරිස් ගී ගයන “මියුරු කල්පනා” සජීවී ප්‍රසංගය සැප්තැම්බර් 01වැනිදා සවස ගාල්ල, කරාපිටිය වෛද්‍ය පීඨයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. විශාරද ප්‍රණීත සාරංග ප්‍රමුඛ ධාරා සංගීත කණ්ඩායම ප්‍රසංගය සංගීතවත් කරයි. කථනය ප්‍රවීණ ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදක වසන්ත රෝහණගෙනි.
2024 ආසියාවේ හොඳම ගායිකාව
මෙරට සංගීත ක්ෂේත්‍රයේ වඩාත් ආකර්ෂණීය සිත දිනා ගෙන සිටින වර්තමානයේ මෙරට තාරුණ්‍යයේ ක්‍රෂ් එක ලෙස බොහෝ දෙනා හඳුන්වන කාංචනා අනුරාධි යොවුන් ගායන ශිල්පිනිය පසුගියදා ආසියාවේ කැපී පෙනෙන හොඳම ගායිකාව බවට පත්වූවාය. ඒ කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවති The Asia’s Icon Award 2024 සම්මාන උලෙළේදීය.
ආසියානු මහද්වීපය පුරා විසිරී සිටින එක් එක් ක්ෂේත්‍රවල නියැළී සිටින පුරෝගාමීන්, කැපී පෙනෙන සමාගම් හා සුවිශේෂී පුද්ගලයන්ගේ ජයග්‍රහණ අගය කරනු පිණිස The Asia’s Icon Award 2024 පවත්වනු ලබයි. මෙවර සම්මාන උලෙළේදී ලාංකේය කලා ක්ෂේත්‍රයේ නියැළී සිටින යොවුන් ගායන ශිල්පිනි කාංචනා අනුරාධිට මෙවර සම්මානයට හිමිකම් කියන්නට ලැබුණි.
“පළිඟු රෑණ” දින 3ක් BMICH හිදී
පූජිත ද මැල් නවතම නාට්‍ය නිර්මාණය ‘පළිඟු රෑණ’ (wingfiedl family) මංගල දැක්ම 29, 30, 31 තෙදින තුළ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මිහිලක මැදුරේදී වේදිකාගත කෙරේ.
ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ අනුවර්තනයක් වන මෙහි චාන්දනී සෙනෙවිරත්න, සේවියර් කනිෂ්ක, මනුෂී ටානියා, බිම්සර සිල්වා රංගනයෙන් එක්වන අතර නදීක වැලිගොඩපොළ සංගීතයෙන් දායක වෙයි. වසර දාහතරකට පසු පූජිත ද මැල් මෙම නාට්‍යය අධ්‍යක්ෂණය කර ඇත.
“අරුන්දති මං මනමාලයි” හෙට
සුගත් ශාන්ත මොරගහ කුඹුරගේ නාට්‍ය නිර්මාණයක් වන ‘අරුන්දති මං මනමාලයි’ නාට්‍යය හෙට (31) සවස දර්ශන වාර දෙකක් කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකාගත කෙරේ.
“ලොක්කා ලෙඩවෙලා” හෙට
රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දු වේදිකා නාට්‍ය නිර්මාණය වන ‘ලොක්කා ලෙඩවෙලා’ නාට්‍යයේ 50 වැනි දැක්ම හෙට (31) දා සවස දර්ශන වාර දෙකක් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී රඟදැක්වේ.
සිසිර කාලිංගගේ ‘සත්සරණී ගී සන්ධ්‍යාව’ හෙට මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දී
සංගීත් නිපුන් සිසිර කාලිංග ඒකනායක ඉදිරිපත් කරන ‘සත්සරණී ගී සන්ධ්‍යාව’ ඒක පුද්ගල ශාස්ත්‍රීය හා සරල ගී ප්‍රසංගය හෙට (31) පස්වරු 6.00 ට මහරගම ජාතික අධ්‍යාපන ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මෙය සමාජ සංකීර්ණ බවින් මිදී, භාවාත්මක රසවින්දනයකට ඉඩ දෙන ප්‍රසංගයක් වශයෙන් හඳුන්වා ඇත. සංගීත් නිපුන් සිසිර කාලිංග ඒකනායක සමඟ කළ මේ සටහන ඒ නිමිත්තෙනි.
ඔබ මෙවන් ප්‍රසංගයක් කරන්නට අදහස් කළේ ඇයි ?
සංගීතය, ජීවිතය විඳින්නට හොඳ අවස්ථාවක්. එය විශාල පරාසයක් පුරා විහිදී තිබෙනවා. අපගේ සංගීතය ඉන්දියානු ආකෘතියට සබඳතාවක් තිබුණා. රාගධාරී, ශාස්ත්‍රීය සංගීතය පමණක් නොවෙයි එයින් ඇති කරන රිද්මය, මිහිරියාව අපගේ ජීවිතයට සමීප කරගත යුතුයි. මම දකින ආකාරයට එමඟින් ඇති කරන භාවමය පැති සමාජ විනය ඇති කළ යුතුයි. සාරධර්ම ගොඩනඟන්නට හේතු විය යුතුයි. මෙම සමාජ භාවනාව අප තවමත් හරයාත්මකව ප්‍රයෝජනයට ගෙන තිබේ දැයි යන්න පැහැදිලි නැහැ. මම මගේ දැනුම, අධ්‍යාපනය හා අත්දැකීම් රසිකයන්ට ඉදිරිපත් කරන්නට සූදානම්.
“සංගීතය හදාරන්නට විශාල පිරිසක් ඉදිරිපත්වෙනවා. එය සුබ දෙයක්. නමුත් මෙම අයගෙන් බහුතරයක් එයට නැඹුරුවෙන්නේ කිසියම් තරගකාරී ස්වභාවයක් තුළ බව පෙනෙනවා. එය ආර්ථික තීන්දුවක්. මේ අතරවාරයේ එයින් ප්‍රයෝජන ගෙන මාධ්‍ය ආයතන නොයෙක් තරග පවත්වනවා.
ඔබගේ අධ්‍යයන පසුබිම ගැන සඳහන් කළොත් ?
සංගීත් නිපුන් හා වාද්‍ය නිපුන් යන උපාධි දෙකම ලද ප්‍රථම ශ්‍රී ලාංකේය සංගීත ශිල්පියා වශයෙන් මම මගේ ගමන ගැන ආඩම්බර වෙනවා. පාසල් යන කාලයේ විදුහලේ ගායන කණ්ඩායමේදී නොයෙක් අත්දැකීම් ලැබුවා. විද්‍යාලයීය තූර්ය වාදන කණ්ඩායමේ නායකයා වුණා. නොයෙක් ගායන තරගවලට ඉදිරිපත් වූ අවස්ථා ගණන අප්‍රමාණයි.
ඉන්දීය සංගීතඥ දිවංගත මහාචාර්ය ශ්‍රී ක්‍රිෂ්ණකුමාර්, සහ ඔහුගේ පුත් සිසිර් කපූර් යටතේ සංගීතය හැදෑරීමට ලැබීම මගේ ජීවිතයේ වාසනාවක්. ඒ වගේම විශේෂ ගුරුදේවයන් ලෙස පණ්ඩිත් ගනේෂ් ප්‍රසාද් මිශ්‍රා යටතේ ඉගෙන ගැනීම ද මගේ ජීවිතයේ භාග්‍යයක්. ඉන්දීය ආභාසය තුළ එරට ගුරු කුල, පාරම්පරික සහ නවීන ක්‍රම ඇතුළුව විවිධ පරාස යටතේ භාරතීය සංගීත අධ්‍යාපනය ලැබුවා.
‘සත්සරණී ගී සන්ධ්‍යාව’ ගැන කතා කරමු ?
මහරගම ජාතික අධ්‍යාපන ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන මගේ ප්‍රසංගයේ මුල් භාගය ශාස්ත්‍රීය සංගීතයෙන් ද, අපරභාගය නව නිර්මාණ සරල ගීවලින් ද ඉදිරිපත් කරන්න සූදානම්. මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ධර්මපාල සේනාධීර, උපුල් නිමල්සිරි, සඳරුවන් කරුණාතිලක යන නිර්මාණවේදීන්ගේ ගී පද සහ මගේ ගීත කිහිපයක් මෙම ප්‍රසංගයේ දී ඉදිරිපත් කරනවා. සංගීත් නිපුන් සනත් නන්දසිරි, ආචාර්ය රෝහණ වීරසිංහ, ජයන්ත රත්නායක, රවි කුලතිලක සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා තනු නිර්මාණය කර තිබෙනවා. දිවංගත එච්. එම් ජයවර්ධනයන් ජීවත්ව සිටි කාලයේ දී නිර්මාණය කළ තනුවකට නිර්මාණයක් කරන්නට ලැබීම ද විශේෂයෙන් අමතක නොවන සිද්ධියක්. මෙම ප්‍රසංගයේ සංගීතය මෙහෙයවන්නේ විශාරද අජිත් දර්ශන ජයවීර ඇතුළු කණ්ඩායමයි. ‘සත්සරණී ගී සන්ධ්‍යාව’ ඒක පුද්ගල ශාස්ත්‍රීය හා සරල ගී ප්‍රසංගය නරඹන්නට ඔබ සැමට මම විවෘතව ආරාධනා කරනවා.
රූකාන්ත පවුලට ඔස්ට්‍රේලියාවෙන් ඉහළම ඇගයුමක්
ශ්‍රී ලාංකේය කලාකරුවෙකුට ඔස්ට්‍රේලියාවේදී ලැබුණු ඉහළම ගෞරවය ලබන්නට ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, රයිනි චාරුකා හා වින්ඩි, ගුණතිලක වාසනාවන්ත වූහ. ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ජෝන් පෙසුට්ටෝ, නියෝජ්‍ය විපක්ෂ නායක, ඉවෙන් මූල් හොලන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිචඩ් වීට් යන අයගේ ප්‍රධානත්වයෙන් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ සම්මාන ප්‍රදානය පැවැත්විණි. ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ටී. එම්. ඩිල්ෂාන් ප්‍රමුඛ 7 zone entertainment විසින් ඔස්ට්‍රේලියාවේ නගර ගණනාවක ඉතා සාර්ථකව සංවිධානය කර ඇති Òරූ සඳ රෑÓ සංගීත ප්‍රසංගය අතරතුර මේ සම්මාන ප්‍රදානය සිදු කෙරිණි.
විදර්ශන ජය මූර්තිකා ප්‍රදානය අනිද්දා
විදර්ශන ප්‍රකාශන ආයතනය සංවිධානය කරන, නවකතා, කෙටිකතා, පරිවර්තන, කාව්‍ය අත්පිටපත් සඳහා ජය මූර්තිකා පිරිනැමෙන සාහිත්‍ය උළෙල අනිද්දා (01) සවස 6ට බත්තරමුල්ල, වෝටර්ස් එජ්හිදී පැවැත්වේ. මේ විවිධ අංශ සඳහා ඉදිරිපත් කර තිබුණු අත්පිටපත් සිය ගණනක් අතරින් අවසන් තිදෙනා අතරට තේරුණු තැනැත්තන් අතරින් පළමු තැන දිනා ගන්නා ජයග්‍රාහකයාට රුපියල් 1,50,000ක් ද සෙසු 8 දෙනාට රුපියල් 50,000 බැඟින් ද බෙදා දීමට කටයුතු යොදා ඇත. මෙදින උළෙලට සාහිත්‍යකරුවන්, විද්වතුන්, අයදුම්කරුවන් 200 දෙනකුට ආරාධනා කර ඇතැයි ද මෙවර ඉංග්‍රීසියට පරිවර්තනය කෙරුණු සිංහල කෘති සඳහා පිරිනැමෙන සාහිත්‍ය අත් පිටපත් 20ක් අතරින් ජයග්‍රාහකයා තෝරා ගැනීමට නියමිත බව ද විදර්ශන ප්‍රකාශකයෝ පවසති.
නුවන්
නිශ්ශංක විජේරත්න