Home » මේක වෛවර්ණ හීන ඇහිදින කළු සුදු මිනි­සුන්ගේ කතාවක්

මේක වෛවර්ණ හීන ඇහිදින කළු සුදු මිනි­සුන්ගේ කතාවක්

‘ෆ්ලැට් නොවන ෆ්ලැට්’- අධ්‍යක්ෂ මාවෝ ලක්ෂිත කරුණාරත්න

by mahesh
August 30, 2024 1:00 am 0 comment

නුවන් මහේෂ් ජයවික්‍රම

මෙරට ටෙලි නාට්‍ය සන්නාමය ජාතික රූපවාහිනිය වග අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ඉකුත් කාලයේදී ටෙලි නාට්‍ය නිර්මාණකරණයේ යම් අඩුවක් පැවතිය ද එහි නාට්‍ය අංශය යළි දැවැන්ත නිර්මාණයක් මඟින් ආලින්දයට පැමිණ සිටියි. ඒ වෙනත් කිසිවක් සමඟ නොව, සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රි 8.30ට විකාශය කෙරෙන ‘ෆ්ලැට් නොවන ෆ්ලැට්’ සමඟිනි. කොළඹ අවට කෙරෙන රූගත කිරීම් අවසන් අදියරේ පවතින මෙකල, අපි දැන් එහි අධ්‍යක්ෂවරයා වන මාවෝ ලක්ෂිත කරුණාරත්න හමුවෙමු.

ටික කාලෙකට පස්සේ ?

ඔව්. ඔව්. ( සිනාසෙයි) උඩු සුළඟ ටෙලියෙන් අවුරුදු 10කට විතර පස්සේ මේ ටෙලිය කරන්නේ. ඉකුත් කාලයේදී විවිධ අර්බුද නිසා අපට අලුතින් ටෙලි නිර්මාණ කළ නොහැකි වුණත් මේ එම කාලයේ නිමාව කියලා හිතන්න පුළුවන්. ඒ සඳහා ජාතික රූපවාහිනියේ හිටපු සභාපති ප්‍රසාද් සමරසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ( වැඩසටහන්) නිලාර් එන්. කාසිම් කළ මැදිහත්වීම් අනුවයි මේ අවස්ථා ලැබී තියෙන්නේ. ඒක ඉදිරියටත් එහෙමම වෙයි කියලා අපි අපේක්ෂා කරනවා.

මේ දවස්වල දවස ගෙවෙන්නේ උඩ තට්ටුවලම ද ?

වැඩිපුර නාරාහේන්පිට ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ තමයි රූගත කිරීම් කෙරෙන්නේ. මේ වන විට එය අවසන් අදියරේ පවතින්නේ. කොළඹ අවට තවත් ස්ථාන ගණනාවකදීත් රූ ගැන්වීම් කරනවා. මේක නාගරික මැදි පන්තියේ, මහල් නිවාසගතව ජීවත් වන පිරිසක් මුහුණ දෙන එක් අනපේක්ෂිත සිද්ධියක් සමඟ ඒ ජීවිතවල සිදුවන හැලහැප්පීම්, මනෝභාවයන් ඇසුරේ මතු වන කතාවක්. අඩු වියදම් නිර්මාණ කටයුත්තක් වුණත් ජාතික රූපවාහිනියෙන් අලුතින් ටෙලි නිර්මාණයක් කරද්දී ප්‍රවීණ, දක්ෂ නළු නිළියන් කවුරුත් ඒ ගැන අවධානය යොමු කරනවා. ආර්ථික ලාභම නොතකා හොඳ නිර්මාණයකට දායක වීමේ කැමැත්ත ඇතිවයි මේ කලාකරුවන් එකතු වී ඉන්නේ. ඒ අනුව අඩු වියදම් නිර්මාණ කාර්යයක් වුණත් ඒ වගක් කොහෙත්ම ඉස්මතු නොවන අන්දමට උසස් අයුරින් මේ කාර්යය කිරීමට අපට අවස්ථාව ලැබුණා. එහිදී මෙහි පිටපත් රචක, චාලක රණසූරිය දැක්වූ දක්ෂතාව සහ ඔහු දුන් සහයෝගය ගැනත් කිව යුතුමයි. ඇත්තෙන්ම, ජාතියේ ටෙලි නාට්‍ය සන්නාමය විදියට ප්‍රමිතිගත නිර්මාණ නිතර සමාජගත කිරීමෙන් අප ලද විශිෂ්ටත්වය ඊට සාධකයක්. එහිම තවත් එක් පියවරක් තමයි වෛවර්ණ හීන ඇහිදින කළු සුදු මිනිසුන්ගේ කතාව විදියට තේමා පාඨ ගන්වා තියෙන මේ ටෙලි නාට්‍යය නිර්මාණ කරන්නේ.

අපි ඒ නළු නිළියන් ගැනත් කියමු ද?

ඉසුරු ලොකුහෙට්ටි ආරච්චි, සුබුද්ධි ලක්මාලි, වොල්ගා කල්පනී, තිලාන් වර්ණජිත්, මොරීන් චාරුණී, අජිත් ලොකුගේ, සරත් කොතලාවල, ලක්ෂිකා ජයවර්ධන, චමිලා පීරිස්, ජයනි සේනානායක, මාදනී මල්වත්තගේ, සංජය මොරමුදලි, ජගත් චමිල, එස්. අයි සමරක්කොඩි, හරිඳු රංගජිත්, නලීන් ප්‍රදීප් උඩුවෙල, වසන්ත කුමාරසිරි, ශාලිත ගුණවර්ධන, සරත් කරුණාරත්න ආදීන් මෙහි රඟපානවා. ඒ වගේම තාක්ෂණ ශිල්පීන් විදියට සහාය අධ්‍යක්ෂණයෙන් අමිත් මුණසිංහ, දෙවැනි කැමරා අධ්‍යක්ෂණයෙන් විජය ශ්‍රී බණ්ඩාර, කැමරා අධ්‍යක්ෂණයෙන් ගයාන් දිසන්ත, කැමරා සහායෙන් මොහාන් දිසානායක, කලා අධ්‍යක්ෂණයෙන් සමීර ප්‍රනාන්දු, සංස්කරණයෙන් රුවන් තිසේරා, සංගීත අධ්‍යක්ෂණයෙන් නවරත්න ගමගේ, ගායනයෙන් බාචි සුසාන්, සුබුද්ධි ලක්මාලි, ගී පද රචනයෙන් සුජිත් ප්‍රසංග එක්වන ෆ්ලැට් නොවන ෆ්ලැට් පිටපත, චාලක රණසූරියගේ. මෙහි නිෂ්පාදනය, විජිත මංජුල සිංහපෘථීවිගේ.

 

ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT