Saturday, April 19, 2025
Home » පළමු සැකකරු සුගත් ජානක අංගොඩ රෝහලට
ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව

පළමු සැකකරු සුගත් ජානක අංගොඩ රෝහලට

by mahesh
August 30, 2024 1:00 am 0 comment

කොළඹ අධිකරණ සමූහ - සිරන්ජනී කුමාරි භාග්‍යා සිල්වා

විෂාදය හැදිලා: දිවි නසාගත හැකියි
– නීතිඥයා උසාවියට දන්වයි

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් මාත්‍රා මිල දී ගැනීමේ සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පළමු සැකකරු ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු බන්ධනාගාරයේ නොතබා අංගොඩ මානසික වෛද්‍ය රෝහලට ඉදිරිපත් කරන ලෙසට ලෝචනි අබේවික්‍රම මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට ඊයේ (29) නියෝග කළාය.

එසේ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය ප්‍රකාශ කළේ පළමු සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සැකකරු බන්ධනාගාරගතව සිටින හේතුව නිසා ඔහු විෂාදයෙන් මේ වන විට පෙළෙන බවත් එම නිසා ඔහු සියදිවි හානි කරගත හැකි බවටත් අධිකරණය වෙත පෙන්වා දීමෙන් අනතුරුවයි. ඒ අනුව එම නීතිඥවරයා සැකකරු ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා සිටියේය. කෙසෙ වෙතත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට කැඳවා බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සියදිවි නසා ගැනීමට අසන්න අවස්ථාවකදී ඔවුන් හට ප්‍රතිකාර සිදු කරන්නේ කෙසේ ද යන්න විමසූ අතර ඒ අනුව මෙසේ අංගොඩ මානසික රෝහල වෙත මෙම සැකකරුව යොමු කරන ලෙස ද නියෝග කළාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හට නිසි ප්‍රතිකාර නොකළොත් පූර්ණ අංගවිකලතාවකට පත්විය හැකි බවට ද අධිකරණය ඉදිරියේ ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කියා සිටි අතර ඒ අනුව ඔහුට ඇප ලබා දෙන ලෙසට ද අධිකරණයේ කරුණු ඉදිරිපත් කළේය. මහේස්ත්‍රාත්වරිය එය ප්‍රතික්ෂේප කරමින් ඔහුව වෛද්‍ය මණ්ඩලයට යොමු කර ඇති බැවින් එම වාර්තා ලැබුණු පසු ඇප ලබා දීම සඳහා ඉල්ලීම සලකා බලන බවට තීරණය කළාය.

මෙහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරල් ලක්මිනි ගිරිහාගම මෙනෙවිය අධිකරණය ඉදිරියේ කියා සිටියේ, මෙම සිද්ධියේ දෙවැනි සැකකරු අධිකරණය නොමඟ යවමින් කටයුතු කර ඇති අයුරු මේ වන විට අනාවරණය වී ඇති බවත් එම සැකකරු මෙම සිදුවීම සම්බන්ධයෙන් මුල සිටම පළමුවන සැකකාර සැපයුම්කරු හට නිසි ප්‍රමිති සහතික නැති බවට හොඳ අවබෝධයකින් සිට ඇති බවට විමර්ශනයේදී හෙළි වූ බවත් කියා සිටියාය. එම නිසා අනෙක් ඇප මත සිටින සැකකරුවන්ට සේම දෙවැනි සැකකරුට ද කොන්දේසි පැනවීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරල්වරිය ඉල්ලා සිටියාය.

කෙසේවෙතත් අධිකරණය මෙම අවස්ථාවේදී අභියාචනාධිකරණ නියෝගයට පටහැනි නියෝගයක් සිදු නොකිරීමට තීරණය කරමින් එම ඉල්ලීම මෙම අවස්ථාවේදී ප්‍රතික්ෂේප කළේය.

මෙම සිදුවීමට අදාළ දෙවැනි සැකකරු සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් ලබා දුන් නියෝගය විවරණය කළ අධිකරණය පැවසුවේ මෙම සිදුවීමට අදාළව සැකකාරභාවය සම්බන්ධයෙන් නියෝගයක් සිදු කර නැති බැවින් ඔහු මේ වන විට මුදාහැර ඇති බැඳුම්කරය මතම ඊළඟ නඩු වාරය වන නොවැම්බර් 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

එ අනුව ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් රණසිංහ ගුණසේකර යන සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළ අධිකරණය අනෙක් සැකකරුවන් හට නොවැම්බර් 29 වැනි දින අධිකරණයේ පෙනි සිටින ලෙස ද නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT