ඉංගිරිය, හොරණ ප්‍රධාන මාර්ගයේ ඇදුරාගල ප්‍රදේශයේ පිහිටි ඇදුරාගල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙහි දැනට මාස එකහමාරකට ආසන්න කාලයක සිට නිසි භූමිතෙල් සැපයුමක් සිදු නොවීමෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.
ඉංගිරියේ සිට හොරණ දක්වා ඇති කිලෝ මීටර් 13කට ආසන්න දුර ප්‍රමාණය සඳහා ඉංගිරිය සීමාවෙහි භූමිතෙල් මිලට ගැනීමට හැකි එකම ඉන්ධන පිරවුම්හල ද මෙය වන අතර, මේ හේතුව වාසියට ගත් සාමාන්‍ය වෙළෙඳසල් හිමියන් අධික මිල ගණන් යටතේ තමන්ට භූමිතෙල් අලෙවි කරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.
ඇදුරාගල වත්ත, ඉංගිරිය, රයිගම්වත්ත, හල්වතුර වත්ත ආදී වශයෙන් ද්‍රවිඩ ජනතාව විශාල ගණනක් වෙසෙන වතු ආශ්‍රිත පෙදෙසක් වන ඉංගිරිය ප්‍රදේශයේ දමිල වැසියන්ට භුමිතෙල් සිය ජන ජීවිතයෙහි අත්‍යවශ්‍ය අංගයක් වන අතර, භූමිතෙල් හිඟකමින් තම ජන ජීවිතයට මහත් පීඩාවක් එල්ලව ඇති බව ඔවුහු පවසා සිටිති. මේ දිනවල සාමාන්‍ය වෙළෙඳසල්වල මිලි ලීටර් 750ක භූමිතෙල් බෝතලයක් රුපියල් 250 – 300 අතර ඉහළ මිලකට අලෙවි වන අතර, ඉන්ධන පිරවුම්හලින් මෙම මුදලින් අඩක් වැනි මුදලකට එම ප්‍රමාණයම ලබාගත හැකි බවත් සාමාන්‍ය වෙළෙඳසල් හිමියන් දැන් මෙය ජාවාරමක් මට්ටමට පත්කරගෙන ඇති බවත් ජනතාව සඳහන් කරති. මේ සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම්හලින් විමසා බැලූ විට එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, ඇදුරාගල ඉන්ධන පිරවුම්හලට භූමිතෙල් ලැබෙන බවත් එලෙස ලබුණු වහාම එම තොගය සුළු වේලාවකදී අලෙවි වී අවසන් වන බවත් ය. කෙසේ නමුත් ජනතාව පවසන්නේ දකින දකින සෑම දිනයකම ‘භූමිතෙල් නැත’ යනුවෙන් සඳහන් දැන්වීමක් ඉන්ධන පිරවුම්හලෙහි දක්නට ලැබෙන බවත් මෙම ගැටලුවට බලධාරින්ගේ අවධානය යොමුකර තමන් පත්ව සිටින අපහසුතාවයෙන් ගලවා ගැනීමට ක්‍රියා කරන ලෙසත්ය.