මාළු ව්‍යාපාරිකයකුගෙන් තමන්ට අය විය යුතු රුපියල් 8734,726ක මුදල වෙනුවට එය පියවීම සඳහා රුපියල් 2870,960 අගරු චෙක්පත් ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයකු මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා විසින් සැප්තැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඉකුත් 26 වැනිදා නියෝග කළේය.
මෙලෙස නියෝග ලැබූවේ පාවුලු පාප් මාවත, මීගමුව පදිංචි ඒ.එස්. ප්‍රනාන්දු නමැත්තෙකි. පැමිණිලිකරු ඕතොරවාඩිය, කටාන, පදිංචි එස්.ආර්. කුමාර නමැත්තෙකි. පැමිණිලිකරු මාළු ව්‍යාපාරයක් පවත්වාගෙන යන ආයතනයක අධ්යක්ෂවරයකු බව පවසයි. සැකකරු මෙම මුදල පැමිණිලිකරුගෙන් ලබාගෙන ඒ වෙනුවට අගරු චෙක්පත් දීමෙන් සාපරාධී විශ්වාසය කඩ කර ඇතැයි මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශනාංශය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
සැකකරු මෙදින පැමිණිලිකරුට රුපියල් 7700,000 ගෙවීමට තිබෙන බව පිළිගෙන එදින ලක්ෂ දෙකක් ගෙවීමටද ඉතිරි මුදල රුපියල් ලක්ෂ තුන බැඟින් අවුරුදු තුනකින් ගෙවා නිම කිරීමටද එකඟ වී ඇත. එහෙත් පැමිණිලිකරු අධිකරණයේදී එලෙස මුදල් ලබා ගැනීමට අකමැත්ත ප්‍රකාශ කළේය. මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශනාංශයේ නඩු කටයුතු මෙහෙයවන උප පොලිස් පරීක්ෂක කීර්ති විජයරත්න මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය.