තම ඥාතීන් අතුරුදන් වීම හේතුවෙන් අසහනකාරි තත්ත්වයට පත්ව සිටින අයගේ හඬට කන්නොදී ඉදිරියට යා නොහැකි බව වටහාගත යුතු බව විදේශ කටයුතු, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, එම්.යූ.එම්. අලි සබ්රි මහතා පැවසීය. ඇමැතිවරයා මේ බැව් අවධාරණය කළේ හෙටට (30) යෙදී ඇති ජාත්‍යන්තර අතුරුදන් වූ තැනැත්තන්ගේ දිනය සැමරීමට කොළඹ 7, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේදී පැවැත්වුණු උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය:
“අතුරුදන් වූවන්ගේ පවුල්වල හා ඔවුන්ගේ ආදරණීයන්ට යුක්තිය සහතික කිරීමට අප කැප වීමෙන් කටයුතු කරනවා. මෙරට පැවති සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලුවලට විසඳුම් දීම මූලික කරගනිමින් ආරම්භ කරන ලද අතුරුදන් වූ තැනැත්තන් සඳහා වූ කාර්යාලය මේ වන විට අතුරුදන් වූවන්ගේ තත්ත්වය තීරණය කිරීම හා ඒ සඳහා විසඳුම් දීම වෙනුවෙන් සිදු කරන ලද කාර්යභාරය මඟින් ජනතාව අතර, විශ්වාසය තහවුරු කරගෙන සිටිනවා.
“වර්ෂ 1980 සිට මේ දක්වා පුද්ගලයන් 14,500ක් අතුරුදන්ව තිබෙනවා. ඔවුන්ට සාධාරණය ඉටු කිරීමට පවතින යන්ත්‍රණය ඇසුරෙන්ම පිළිතුරු දිය යුතුයි. ඇතැම් අය අතුරුදන් වූ ජනතාවට පවතින ගැටලු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කරනවා. උතුරේ හෝ දකුණේ හෝ කොතැනක සිටියත් ශ්‍රී ලාංකිකයන් බව වටහාගත යුතුයි. ඔවුන්ට පවතින ගැටලු විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතාවලට භාවිත කිරීමට ඉඩ නොදිය යුතුයි. යුද්ධයට සම්බන්ධව සිටි එල්ටීටීඊ සාමාජිකයන් 12,900ක් රජය විසින් පුනරුත්ථාපනය කර නිදහස් කරනු ලැබුවා. ඒ අය යළිත් ත්‍රස්තවාදි කටයුතුවලට සම්බන්ධ වුණේ නෑ. තම ඥාතීන් අතුරුදන් වීම හේතුවෙන් අසහනකාරි තත්ත්වයට පත්ව සිටින අයගේ හඬට කන්නොදී ඉදිරියට යා නොහැකි බව වටහාගත යුතුයි. මේ සඳහා අතුරුදන් වූ තැනැත්තන් සඳහා වූ කාර්යාලයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. සත්‍ය හා ප්රතිසන්ධානය සදහා වූ කාර්යාලය පිහිටුවීමෙන් අතුරුදන් ජනතාවට සාධාරණය ඉටු කරගැනීම සඳහා තවදුරටත් අවස්ථාව සලසා දෙනවා.
“ශ්‍රී ලංකාවේ කටයුතු සදහා අන්තර්ජාතික ප්‍රජාව දෙන තාක්ෂණික සහයෝගය අගය කරනවා; ඒ වෙනුවෙන් ගෞරවය පුද කරනවා. එහෙත් ඔවුන් අපේ රටේ අභ්‍යන්තරව කටයුතුවලට බලපෑම් නොකළ යුතුයි. මිලියන 22ක් වූ ශ්‍රී ලාංකික ජනතාවට සාධාරණය යුක්තිය ඉටු කිරීම අපගේ අරමුණයි.”
අතුරුදන් වූ තැනැත්තන් සදහා වූ කාර්යාලයේ සභාපති, නීතිඥ මහේෂ් කටුලන්ද, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, නීතිපති, ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ, ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් Sandile Edwin Schalk, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය Siri Walt, අතුරුදන් වූ තැනැත්තන් සඳහා වූ කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ ජේ. තත්පරන් මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීහු හා අතුරුදන් වූ තැනැත්න්ගේ ඥාතීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.