හරක් කටා නොහොත් නදුන් චින්තක නමැති ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන පාතාල අපරාධකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට තැත් කළ සිද්ධියේ 14 වන සැකකරු ලෙස හරක් කටාගේ ඩුබායි හි සිටින බිරිය වන මහේෂිකා මධුවන්ති යන අය නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ 28 කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ දැනුම් දුන්නේය.
ඇයට රතු නිවේදනයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට අවසර ලැබිණි.
හරක් කටා නොහොත් නදුන් චින්තක සහ සෙල්ලප්පෙරුමගේ සළිඳු ගුණරත්න නොහොත් කුඩු සළිඳු යන දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට මෙහෙයුමක් දියත් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අය අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
විදේශගතව සිට මෙරට තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ නඳුන් චින්තක නොහොත් හරක් කටා සහ සෙල්ලප්පෙරුමගේ සළිඳු ගුණරත්න නොහොත් කුඩු සළිඳු ඩුබායිහිදී ප්‍රථමයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ 2022 වසරේ අගෝස්තු මසදී වේ. එහිදී ඔහු නිදහස් වී තිබුණි.
අනතුරුව 2023 මාර්තු 7 වැනිදා මැඩගස්කරයේදී හරක් කටා සහ සළිඳු මල්ෂික නොහොත් කුඩු සළිඳු ඇතුළු 7දෙනෙකු යළි අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් දිවයිනට රැගෙන ආවේ 2023 වසරේ මාර්තු 15 වැනිදාය.