වත්මන් ජනාධිපතිවරයාට ඡන්දය නොදී මාලිමාවට ඡන්දය දෙන ලෙසට කියමින් කොළඹ පෞද්ගලික රෝහලක ආහාර පරීක්ෂකයෙකුට පහරදුන් බව කියන එම පෞද්ගලික රෝහලේම අරක්කැමියකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැදැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (28) නියෝග කළේය.
නාරහේන්පිට පොලිසිය අධිකරණයේදී ප්‍රකාශ කර සිටියේ මොවුන් එකම ආයතනයේ සේවය කරන පුද්ගලයන් වන බවයි. රෝහලේ උදෑසන රාජකාරි නිමකොට කතාබහ කරමින් සිටියදී දේශපාලනය ගැන සඳහන් කරමින් මෙවර කුමන පක්ෂයට තම ඡන්දය දෙන්නෙ දැයි මෙම ප්‍රශ්නය ආරම්භ වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දෙන බව පැමිණිලිකරු පැවැසූ පසුව ඊට උරණ වූ සැකකරු ජනාධිපතිවරයාට නොදී මාලිමාවට දෙන බව කියමින් ඇති වූ බහින් බස්වීම දුර දිග ගොස් ඇති අතර සැකකරු විසින් පැමිණිලිකරුට මුහුණට අතින් පහරදීමෙන් ඔහුගේ දතක් ගැලවීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් නාරහේන් පිට පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙහිදී විවෘත අධිකරණයේදී මහේස්ත්‍රාත්වරයා පැමිණිලිකරුට ප්‍රකාශ කර සිටියේ, ‘අදාළ පක්ෂයෙන් ඇවිල්ලා දත දලා දෙයි’ යනුවෙනි. පසුව සැකකරු ඇමතූ මහේස්ත්‍රාත්වරයා ‘ අධිකරණයෙන් තමාව රක්ෂිත බන්ධනාගාරගත කළහොත් ඔයාට කෑමබීම අරන් ඔය කියන පක්ෂය බන්ධනාගාරයට එයි’ යනුවෙනි. මෙහිදී දෙපාර්ශ්වයට දැඩිව අවවාද කළ මහේස්ත්‍රාත්වරයා ඡන්දය නිදහස් සහ රහස් ඡන්දයක් ලෙස ව්‍යවස්ථාවෙන් දී ඇති වරප්‍රසාද ප්‍රකාරව එය භාවිත කිරීමට වග බලා ගන්නා ලෙසත් නැවත මෙවැනි සාමය කඩකිරීම් සිදු නොකරගන්නා ලෙසත් දැඩිව අවවාද කළේය.