අටුළුගම ප්රදේශයේ විහාරාධිපති හිමි නමකට පහරදුන්නැයි කුපිත වී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් දේපළවලට ගිනි තබා අනර්ථයක් කළ පුද්ගලයන් 27 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කෑගල්ල මහාධිකරණ විනිසුරු ශිවන්ත මංචනායක මහතා ඉදිරියේ පෙරේදා (27) අධිචෝදනා පත්‍ර භාරදෙනු ලැබීය.
ඉකුත් 2014 දෙසැම්බර් 01 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී මෙම විත්තිකරුවන් නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින්, රුවන්වැල්ල පොලිස් වසමේ අටුළුගම දී රුපියල් එක් කෝටි පනස් හත් ලක්ෂ පහළොස් දහසක් (15715 000) වටිනා දේපොළවලට පහර දී ගිනි තබා අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිචෝදනා හතරකින් යුත් චෝදනා පත්‍රය කියවා භාරදෙනු ලැබිණි.
මෙලෙස අධිචෝදනා භාර දීම සිදු කරනු ලැබුවේ රුවන්වැල්ල පොලිස් වසමේ අටුළුගම පදිංචිව සිටින පුද්ගලයන් 27 දෙනකුට එරෙහිවය.
අටුළුගම ප්රදේශයේ විහාරාධිපති හිමි නමකට පිරිසක් පහර දී තිබිණි. පසුව විහාරාධිකාරි ස්වාමීන් වහන්සේ විහාරාධිපති ස්වාමීන් වහන්සේට පහර දුන්නා යැයි කියන තිදෙනා සම්බන්ධයෙන් ගම්වාසීන්ට දන්වා තිබේ. පසුව ගම්වැසියන් පිරිසක් විහාරාධිපති ස්වාමීන් වහන්සේට පහර දීම සම්බන්ධයෙන් ඔවුන්ගේ නිවාස දෙකකට වෙෙළඳසල් තුනකට, බස් රථයකට, ලොරි රථයකට, ත්‍රිරෝද රථයකට හා යතුරු පැදියකට යම්කිසි පිරිසක් පහරදී ගිනි තබා විනාශ කර දමා තිබිණි. පසුව රුවන්වැල්ල පොලිසිය අවස්ථා ගණනාවකදී 27 දෙනෙක් යුත් සැකකරුවන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔවුන් කලක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියහ.
මෙම සැකකරුවන් 27 දෙනා සම්බන්ධයෙන් රුවන්වැල්ල මහේස්ත්රාත් අධිකරණය මගින් ලඝු නොවන නඩු විභාගයකින් අනතුරුව නීතිපතිවරයා වෙත යොමු කොට නීතිපතිවරයා විසින් සැකකරුවන් 27 දෙනා ඇප මත මුදාහැර තිබිණි.
මෙහි පස්වැනි විත්තිකරු මියගොස් ඇති බවට අධිකරණයේදී කරුණු හෙළි විණි.
විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙස නියෝග කළ අධිකරණය විත්තිකරුවන් රුපියල් ලක්ෂ 5ක් වටිනා පුද්ගල ඇපයක් හා රුපියල් ලක්ෂ 25 ක් වටිනා ශරිර ඇප දෙකක් මත මුදා හැර ලබන ඔක්තෝම්බර් මස 28 වැනිදා නඩුව කැඳවීමට දින නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ චන්දිමා ප්‍රනාන්දු මහත්මිය රුවන්වැල්ල පොලිසියේ පොලිස් සැරයන් ගම්ලත් (48605) නිලධාරියා අධිකරණයේ පෙනී සිටියහ.