ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තරග කිරීම අත්හිටවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස සහ වැඩබලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ ශාන් රණසූරිය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (28) තීරණය කළේය.
දෝෂසහගත සහ අසත්‍ය කරුණු ඇතුළත් පෙත්සමක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් රුපියල් පනස්දහසක නඩු ගාස්තුවක් ගෙවන ලෙස පෙත්සම්කාර නීතිඥවරයාට ඊයේ (28) නියම කළේය.
අදාළ නඩු ගාස්තුව මාසයක කාලයකදී ගෙවා අවසන් කළ යුතු බවට නියම කෙරිණ.
ජනාධිපතිවරයා ලෙස කරන කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මුක්තිය ලබා දී තිබියදීත් ඒ පිළිබඳ තැකීමක් නොකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව යමින් අධිකරණයට අසත්‍ය සහ දෝෂසහගත කරුණු ඉදිරිපත් කරමින් අධිකරණය නොමඟ යැවීමට උත්සාහ කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් පෙත්සම්කාර නීතිඥවරයාව අධිකරණය විසින් දැඩි දෝෂ දර්ශනයට ලක් කෙරිණ.
අධිකරණය අවභාවිත කිරීමට තැත් කළ පෙත්සම්කාර නීතිඥවරයාගේ ක්‍රියාකලාපය සහ ඔහුගේ නොසැලකිල්ල සම්බන්ධයෙන් කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක ඒකමතික තීන්දුව අනුව මෙම නියෝගය සිදු කෙරිණ.
ගාමිණී අමරසේකර, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම ඊයේ (28) කැඳවීය.
එහිදී පෙත්සම්කාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශිහාරා ඒකනායක සඳහන් කළේ පෙත්සම්කාර නීතිඥවරයා පෞද්ගලික හේතුවක් මත අධිකරණයේ පෙනී නොසිටින බැවින් මෙම පෙත්සම වෙනත් දිනයක සලකා බලන ලෙසය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙන්වා දුන්නේ මෙම පෙත්සම දෝෂසහගතව සහ අසත්‍ය කරුණු ඇතුළත් කරමින් අධිකරණය නොමඟ යැවීම සඳහා ඉදිරිපත් කර ඇති බැවින් එය යම් ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කළ යුතු බවය.
පෙත්සමෙහි දෝෂසහගත කරුණු ගණනාවක් ඇති බවට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා එහිදී පෙත්සම්කාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියට පෙන්වා දුන්නේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් වන කිසිදු මූලික නීතිමය දැනුමකින් තොරව මෙම පෙත්සම ගොනුකර ඇති බවක් නිරීක්ෂණය වන බවය.
මෙම පෙත්සමේ ඇතැම් කරුණු නිරීක්ෂණය කිරීමේදී මෙම නීතිඥවරයා නීති විද්‍යාලයේ අධ්‍යයන කටයුතු කර තිබේ ද යන්න පිළිබඳ පවා සැකයක් මතු වන බව විනිසුරු මඬුල්ල එහිදීම සඳහන් කළහ.
මූලික අයිතිවාසිකම් පෙත්සමකින් ලබාදිය නොහැකි සහන මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇති බව පෙන්වා දුන් විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා නීතිඥවරයකු එවැනි ඉල්ලීම් සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවන ඇතැම් කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ලෙස දක්වමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවය. පෙත්සම්කාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය එහිදී සඳහන් කර සිටියේ ඒවා යතුරුලියනය කිරීමේදී ඇතිවූ දෝෂසහගත තත්ත්වයන් බවය.
එබැවින් එම කරුණු මත පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර ලබා දෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
එහිදී විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ නීතිඥවරියගේ ඉල්ලීම පරිදි මෙවැනි පෙත්සමක් ඉල්ලා අස් කර ගැනීමට අවස්ථාව දිය නොහැකි බවය.
යතුරුලියනය කිරීමේදී ඇති වූ දෝෂවලින් ඔබ්බට ගිය යටි අරමුණකින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවක් නිරීක්ෂණය වන බව විනිසුරු ඒ.එච්.එම්. නවාස් මහතා එහිදී සඳහන් කළේය.
මෙම පෙත්සම හදිසි කරුණක් ලෙස සලකා කඩිනමින් සලකා බලන ලෙස ඉල්ලමින් පෙත්සම්කාර නීතිඥවරයා මෝසමක් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීමට අධිකරණය තීරණය කළ බව විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේය.
ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සූදානම්ව පැමිණ ඇති බව එහිදී සඳහන් කෙරිණ.
එහෙත් අධිකරණයට නොපැමිණ අධිකරණයේ කාලය නිකරුණේ කාදමමින් අධිකරණය අවභාවිත කිරීමට මෙම නීතිඥවරයා උත්සාහ දරා ඇති බව ද විනිසුරු මඬුල්ල එහිදී අවධානයට ලක් කළහ.
යටි අරමුණු සහිතව සහ සත්‍ය කරුණු ඇතුළත් කරමින් දෝෂ ගණනාවක් සහිතව මෙවැනි පෙත්සම් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දැඩි පියවර ගත යුතු බව එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේය.
කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම ඉදිරිපත් කළ නීතිඥවරයාගේ ක්‍රියාකලාපය සහ ඔහුගේ නොසැලකිල්ල සම්බන්ධයෙන් දැඩි දෝෂ දර්ශනයට ලක් කළහ.
එසේම අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාළව නිකුත් කළ නියෝගයකට අදාළව තවත් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටීම දෝෂසහගත බව ද එවැනි සහන ලබා දිය නොහැකි බව ද විනිසුරු මඬුල්ල එහිදී සඳහන් කළහ.
අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමේදී තමන් ඉල්ලා සිටින සහන සහ පෙත්සමේ ස්වභාවය පිළිබඳ අවධානය යොමු කළ යුතු බව එහිදී විනිසුරු මඬුල්ල පෙන්වා දුන්හ.
අනතුරුව ගාස්තුවකට යටත්ව මෙම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට නියම කෙරිණි.
පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා නම් කර තිබිණි.
රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයා වශයෙන් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට ප්‍රතිඥාවක් දී ඇති බව පෙත්සමෙහි සඳහන් විය.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(7) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම ජනාධිපතිවරයා විසින් කළ යුතු බව සඳහන් කෙරිණ.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ රාජකාරි කටයුතු හා බලතල ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඉකුත් 24 වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළ අතර ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට කිසිදු බාධාවක් නැති බව පෙත්සම මඟින් පෙන්වා දී තිබිණි.
උපරිමාධිකරණයට විනිසුරුවරු පත් නොකිරීම තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කර තිබෙන බවද එමඟින් පෙන්වා දී තිබිණි.
එබැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් කිරීම නුසුදුසු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.
නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මඟින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.