ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කර පවරා ඇති නඩුව අනෙක් විත්තිකරු නොමැතිව විභාග කරන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ නීතිඥවරු ඊයේ (28දා) කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් කළහ.
කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බලල්ලේ මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ නඩුවේ පළමු විත්තිකරු වූ ජයම්පති ක්ලැරිස් පෙරේරා ජයසිංහ නොහොත් සිඩ්නි ජයසිංහ නමැති අය අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ නැත. සිය සේවාදායකයා හදිසි අනතුරකට ලක්ව පසුගිය 24දා සිට පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බවට වෛද්‍ය සහතික ඉදිරිපත් කරමින් විත්තියේ නීතිඥවරයා දන්වා සිටියේය.
එහිදී විත්තිකාර උදය ගම්මන්පිලගේ නීතිඥයන් අධිකරණය අමතමින් සිය සේවාදායකයාගේ හෘදයේ පිහිටි රුධිර ධමනි සියයට 80ක් පමණ අඩපණව ඇති බැවින් සැත්කමක් කළ යුතු බව වාර්තා කළේය. එම සැත්කම විදේශයකදී කිරීමට අදහස් කරන බැවින් නඩුව ළඟ දිනයක කැඳවන ලෙස ඉල්ලීමක් කළේය. තවද අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 241 වැනි වගන්තිය යටතේ පළමු විත්තිකරු නොමැතිව නඩුව පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට පළමු විත්තිකරුගේ නීතිඥවරයා සහ රජයේ අධිනීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා විත්තියේ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කළේය. ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත්‍රයක් යොදා ගෙන අදාළ ව්‍යාපාරිකයාට අයත් සමාගමක කොටස් විකුණා මුදල් වංචා කළැයි මන්ත්‍රීවරයාට එරෙහිව නඩුව ගොනු කර තිබේ.
1996 වසරේ සැප්තැම්බර් මස 26 වැනිදාත් 1997 වසරේ සැප්තැම්බර් මස 25 වැනිදාත් අතර කාලයේ රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම හා එම මුදල් සාවද්‍ය පරිහරණය කරන ලදැයිද ඊට ආධාර හා අනුබල දෙන ලදැයිද චෝදනා 4ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරුන් වන ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ජෝන් ෂැඩික් හා ඔහුගේ බිරිඳ වන ජැනට් එළිසබෙත් ජෝන් ෂැඩික් යන තැනැත්තන්ගේ අත්සන් යොදා සකස් කළ 1997 අප්‍රේල් 18 දිනට දාතම කළ ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් වණික් ඉන් කෝපරේෂන් සමාගමේ අධ්යක්ෂවරයාට ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ 2016 වසරේ අගෝ: 29දා නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත.
එහිදී විත්තිකරුවන්ට එරෙහිව සාපරාධි විශ්වාසය කඩ කිරීම ඇතුළු අධිචෝදනා යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 113 (අ), 102, 389 වගන්ති යටතේ නඩු පවරා තිබේ.
ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ සාක්ෂි ආඥා පනතේ 165 වගන්තිය යටතේ ඊයේ (05දා) විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් දෙමින් තමන් හා ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ජෝන් ෂැඩික් අදාළ සමාගමේ සම අයිතිකරුවන් ලෙස කටයුතු කළ බවත් උදය ගම්මන්පිල එහි සේවකයකු ලෙස කටයුතු කළ බවත් කියා සිටියේය. ඒ අනුව තමන් එහි සේවකයකු වන උදය ගම්මන්පිලට ඇටෝර්නි බලපත්‍රයක් නිකුත් කළ බවත් එම අවසරය පරිදි ඔහුට පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලදී ගැනීමට හා ඒවා විකිණීමට අවසරය දුන් බවත් කියා සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස හා ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සමඟ නීතිඥ ඉරේෂා වනිගසූරිය, නීතිඥ සඳනි විජේන්ද්‍ර පෙනී සිටියහ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම පැමිණිල්ල මෙහෙයවන ලදි.