රුපියල් කෝටි 700කට අධික බදු මුදලක් රජයට අහිමි කරමින් මෙරටට ආනයනය කරනු ලැබූ සුඛෝපභෝගී මෝටර් රථ 112ක් ආනයනය කිරීමේ සිද්ධියට අදාළ මෝටර් රථ තුනක් පසුගියදා (23) අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සඳහා ශ්‍රි ලංකා රේගුවට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
මෙකී විමර් ශනයට අදාළව කෝටි 25කට අධික වටිනාකමකින් යුත් මෝටර් රථ 7ක් අල්ලස් කොමිසමට භාර දෙන ලෙසට එකී මෝටර් රථවල වර්තමාන වාහන හිමියන්ට හා රේගු අධ්යක්ෂවරයාට මහේස්ත්‍රාත්වරයා මීට පෙර අවස්ථාවකදී නියෝග කර ඇත.
එම අධිකරණ නියෝගය මත එම වාහන කොමිසන් සභාව වෙත ඉදිරිපත් කර නොතිබු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු ද අධිකරණය විසින් මේ වන විට නිකුත් කර ඇති අතර අධිකරණ නියෝග කාලය දිර්ඝ කර ගන්නා ලද වාහන හිමියන් වෙත එම වාහන සැප්තැම්බර් 11 වැනි දිනට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර දෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කර ඇත. මේ විමර්ශනයේදී හෙළිවූ රේගු නිලධාරින් සහ වාහන ලියාපදිංචි සඳහා සහාය වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර අත්අඩංගුවට ගන්නා ලෙසට ද මෙහිදි අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාවට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින්, ශ්‍රි ලංකා රේගුවෙන් නිසි පරිදි නිෂ්කාෂන කටයුතු සිදු නොවීමෙන් ලංකා රජයට මේ මුදල අහිමි කර දූෂණයක් සිදුකර ඇතැයි සඳහන් කරමින් මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය විසින් කරුණු ඉදිරිපත් කළේය.
මෙලෙස රේගුවේ නිසි පරිදි නිෂ්කාශනය නොකොට සුඛෝපභෝගී වාහන 200ක් පමණ මෙරටට ගෙන්වා ඇති බවට එම ඒකකය විසින් ඉකුත් 2023 වසරේ දෙසැම්බර් මස 08 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී. ඇතැම් වාහන රුපියල් කෝටි හතක් පමණ වන බවත් ඒවා 2015 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ වරින් වර විවිධ ආකාරයෙන් කන්ටේනර් තුළ සඟවා සහ වෙනත් ද්‍රව්‍ය ගෙන්වන මුවාවෙන් මෙරටට ආනයනය කර ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට පැවසීය.