යතුරුපැදි-පාපැදි නැවතුමක් දෙන්න
මාතර මහ නගර සභාව මඟින් පාලනය වන කුමාරතුංග මුනිදාස මහජන පුස්තකාලය මගින් පොදු මහජනතාවට ඉටුවන සේවය අතිවිශාලය. එහෙත් පුස්තකාලයට පාපැදි යතුරුපැදිවලින් පැමිණෙන අයට පුස්තකාලය ආසන්නයේම පාපැදි, යතුරුපැදි නතර කිරීමට ස්ථානයක් වෙන් කර නොතිබීම බලවත්ම අඩුපාඩුවකි. එම නිසා පාපැදි සහ යතුරුපැදිවලින් පැමිණෙන අයගේ පහසුව සඳහා කඩිනමින් අවධානය යොමු වී ඒවා නතර කිරීමට පුස්තකාලය අසලම ස්ථානයක් වෙන් කර දීමට කටයුතු යොදන මෙන් නාගරික කොමසාරිස්තුමියගෙන් ඉල්ලා සිටිමි.
වසන්ත ද සිල්වා
වැලිගම
දශක පහකින් නොහැදුණු මඟක්
හසලක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලුණුමඬලකැටිය ග්‍රාමසේවා නිලධාරී වසමට අයත් රන්දෙනිගල පාර 31 ඇළේ සිට පාලුගස්කඩවලයන මාර්ගය අවුරුදු පනහක සිට අලුත්වැඩියා කර නොමැති වීම නිසා ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මෙම මාර්ගය ගොවීන් වගාකරුවන් ඇතුලු විශාල පිරිසක් භාවිතා කරන අතර මෙම මාර්ගය නිසි ලෙස ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා ඔවුන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
එනිසා අප රජයේ සියලු බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසය.
එම්.ජී නිහාල් ඇන්ටන්
හසලක
සා.පෙළ ගණිත පත්‍රයේ ගැටලුව
Y = f(x) යන්න සා.පෙළ දරුවන්ට ඉතාම ආගන්තුකය. ඔවුන් එය දැක නැත. දුටු විටම වික්ෂිප්ත වෙයි. ගුරුවරුන්ද පුදුමයට පත් වන්නේ උසස් පෙළ සංයුක්ත ගණිතයේ මුල සිටම ඉගැන්වෙන එහෙත් සා.පෙළ දරුවන්ට එතුමන්ලා විසින් උගන්වන්නේ නැති මෙවැන්නක් ප්‍රශ්න පත්‍රයට එකතු කර තිබීම පිළිබඳවය. මෙවර සා.පෙළ ගණිතය විභාගය පැවැත්වුණු මැයි 13 වැනිදා සිට මේ පිළිබඳව විවිධ අය විවිධ දේ පැවසූහ. ගණිතය ප්‍රශ්න පත්‍රයේ අනාගතය පිළිබඳව බොහෝ දෙනා මත පළ කළේ උසස් පෙළ සංයුක්ත ගණිතයේ අවකලනය, අනුකලනය, භින්න භාග, ශේෂ ප්‍රමේය, ගුරුත්ව කේන්ද්‍රය, ප්‍රක්ෂිප්ත, දෛශික වැනි ඒකකවලින්ද ඉදිරියේදී ගණිතය ප්‍රශ්න පත්‍රය සැරසිය හැකි බවයි. එසේ සිතමින් ගුරුවරුන් තරගයට මෙන් විෂය නිර්දේශයෙන් ඔබ්බට දරුවන් ගෙන ගියහොත් දරුවන්ට නිහඬ ගණිත විප්ලවයකට මුහුණ දීමට සිදුව ඇති තත්ත්වයක් ඇති විය හැකි බවය.
එසේ ලැබී තිබූ ප්‍රශ්නයට පිළිතුරු ලිවීමට දරුවන්ට එතරම් අපහසු නොවේ. නමුත් එවැනි දරුවන්ට පහසුවන, ඉතා ඉහළින් ලිවීමට දත කට මැදගෙන එන ප්‍රස්තාර ප්‍රශ්නය මෙලෙස ඉතා ආගන්තුක කරුණකින් ඇරඹුණු අයුරු දුටු විට තැති ගන්නා දරුවාට පැය 3ක කාලය තුළ ඉතිරි ප්‍රශ්න 9කට පිළිතුරු ලිවීමට යාමේදී ඇති වන අපහසුතාවය හා මානසික පීඩනය තුළ පිළිතුරු ලියා ගැනීමට ඇති වූ අපහසුතා පිළිබඳව බොහෝ දෙනා මැසිවිලි නැඟීය. ගැඹුරින් සිතන දක්ෂ අයටද විෂයය කරුණු පිළිබඳව අවබෝධයක් නැති අයද මෙම ගැටලුවට මුහුණ දෙන්නට විය.
තවත් ගණිතයේ ගැටලුසහගත තැන් කිහිපයක් පිළිබඳව මෙසේ විමසා බැලිය හැකිය. 1983 වර්ෂයේදී ගණිතය ප්‍රශ්න පත්‍රයද විභාගයට පෙර පිටවී තිබුණි. එම නිසා එය ලීක් එක්සෑම් එක (Leak Exam) යනුවෙන් හඳුන්වනු ලැබීය. ගණිතය ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර බොහෝ දෙනා අතට ලැබී තිබිණි. එම නිසා එම ගණිත ප්‍රශ්න පත්‍රය නැවත වතාවක් පවත්වනු ලැබීය. එය “විශේෂ ගණිත පත්‍රය” නම් විය. නමුත් එය කඩිමුඩියේ සකස් කිරීමේදී එහි නිර්මාණ ගණන නිවැරදි ගණනක් ලෙස ලැබී නොතිබුණි. ආකාර කිහිපයකින් ගත් විට වෘත්තයේ කේන්ද්‍රය තැන් කිහිපයක පවතී. එවර එම ගණන නොසෑදූ දරුවන්ටද එම ලකුණු පිරිනැමීම සිදු විය.
තවද 1999 හා 2000 වසරවලදී පමණක් 42 හා 45 යනුවෙන් i හා ii වශයෙන් ගණිත ප්‍රශ්න පත්‍ර 4කට පිළිතුරු ලිවීමට සලස්වමින් දරුවන්ට පැවැත්වූ සා.පෙළ විභාගද අත්හදා බැලීම් විය. එම කටයුත්ත එම වසර 2න් පසු නතර විය.
නැවත සුපුරුදු අයුරින් සා.පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍ර දෙකක් වශයෙන් පැවැත්වෙන්නට පටන් ගැනුණි. නමුත් එම වසර දෙක තුළ විභාගයට ඉදිරිපත් වූ දරුවන් ද ඉතා අපහසුතාවයට ලක් විය. මෙවැනි අත්හදා බැලීම් ඉතා භයානකය. බොහෝ දරුවන්ගේ ජීවිත මෙන්ම අනාගතයද බොහෝ වෙනස් විය.
නමුත් කේම්බ්‍රිජ් වැනි ජාත්‍යන්තර විභාගවල සාමාන්‍ය පෙළ දරුවන් Y = f(x) ‘වැනි සමීකරණ පිළිබඳව හොඳින් ඉගෙන ගෙන ඇත. අපේ දරුවන්ටද මෙවැනි දේ පිළිබඳව දැනුමක්, අධ්‍යාපනයක් ලබාදී තිබුණේ නම්, අපටද මෙලෙස කතිකාවතක් නැත. ඉහත කී අපගේ දරුවන්ට සංඛ්‍යානය (Statistics) ඒකකයේදී මධ්‍යන්‍ය සෙවීමට fx වගු හා fd වගු පිළිබඳව ඉගැන්වීම ඉතා හොඳ කරුණකි. එය මිනිත්තු 18ක් පමණ වැය කළ යුතු ලකුණු 10ක ප්රශ්නයකි. නමුත් ඉහත කී ජාත්‍යන්තර විභාගවලට ඉදිරිපත් වන දරුවන් එම ගණනක් මිනිත්තු දෙකක්, තුනක් යාමටත් ප්‍රථම විද්‍යාත්මක ගණකයෙන් සාදා පෙන්වයි.
තවද අපගේ දරුවන් ලඝු පොත භාවිත කරමින් කරන්නා වූ ඉහත ආකාරයේ ලඝුගණක ගණනද ඉහත දරුවන් විද්‍යාත්මක ගණකය භාවිත කරමින් ඉතා සුළු වේලාවකදී කර පෙන්වයි. ත්රිකෝණමිතියද ඒ අතර වෙයි. නමුත් අපේ බොහෝ දරුවන්ට මෙන්ම බොහෝ ගුරුවරුන්ටද විද්‍යාත්මක ගණකය (Scientific Calculator) භාවිත කිරීමට දන්නේද නැත. තවද සමහර දරුවන් එවැන්නක් දැක හෝ නැත. නමුත් මේ දෙගොල්ලන්ම එකම රැකියා අවස්ථාවන් සඳහා තරග කරති. එහිදී අපේ දරුවන්ට අත්වන ඉරණම පිළිබඳව සිතා බලා යල් පැන ගිය ක්‍රමවේද වෙනුවට තාක්ෂණය සහිත නවීන ක්‍රමවේද අනුව ඉදිරි අධ්‍යාපන වෙනස්කම් සකස් කළ යුතුය. එවිට අපේ බොහෝ දරුවන් තරගකාරී අධ්‍යාපන ක්‍රම හමුවේ තවදුරටත් අසරණ නොවනු ඇත.
පියල් සෙනෙවිරත්න
මෙතැන වැඩකට ගන්න
මාතර කඩ වීදිය ජනාකීර්ණ පෙදෙසකි. මාතර මහා නගර සභාවේ පොදු අරමුදලින් ඉදිකළ කියවීමි ශාලාව 1994.03.17 දින විවෘත කළ බව, දක්නට ලැබේ. ඉන් පසු මෑතකදී එයට නුදුරින් අංගසම්පූර්ණ කියවීම් ශාලාවක් විවෘත විය.
අද මෙම පැරණි භූමිය, කැලෑවට යටවී ජනේල, දොරවල් දිරාපත්ව කැඩී බිඳී අපවිත්‍රව ඇති බව, ප්‍රදේශවාසීහු පවසති. පොදු ගොඩනැඟිලි කුලියට ගෙන, රාජ්‍ය ආයතන පවත්වන අවධියක රජයට අයත් මෙවැනි වටිනා භූමියක තැනූ ශාලාව අලුත්වැඩියා කර, රාජ්‍ය ආයතනයක් එම ස්ථානයේ පිහිටුවීම නැණවත් ක්‍රියාවක් බව, ජනතාව පවසති.
එමඟින් විශාල රාජ්‍ය මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනුමට හැකිවෙනු ඇතැයිද, ඔවූහූ පෙන්වා දෙති. බලධාරීන්ගේ අවධානය පිණිසයි.
අනුර ද සිල්වා
මාතර
සංචාරකයන්ගේ ආදර්ශය
අකුරළ මුහුදු වෙරෙළහි තැන තැන කැළිකසළ ගොඩගැසීම හේතුවෙන් ජරාවාසවී ඇතැයි ද ඇතැම් අවස්ථාවන්හීදී, එවායින් විශාල දුඟදක් හමන බවද, ජනතාව පවසති. විදෙස් සංචාරක තරුණියන් පිරිසක් පසුගියදා මාදම්පාගම, අකුරළ මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක යෙදී සිටියහ. විදේශීය තරුණියන් විසින් එකතු කරන ලද අපද්‍රව්‍ය විශාල බෑග්වලට දමා ගනිමින් නවාතැන් ගත් හෝටලයට පැමිණ සිටියහ. හෝටලයේ කළමනාකාරීත්වය මැදිහත්ව, රත්ගම ප්‍රාදේශීය සභාවේ සහායද සමඟ එම කැළිකසළ රත්ගම කසළ ප්‍රතිචක්‍රීය මධ්‍යස්ථානයට රැගෙන ගිය බව, නිලධාරීහු පවසති. මෙය රටටම ආදර්ශයක් බව, ජනතාව පෙන්වා දෙති.
අනුර ද සිල්වා – මාතර