පරාර්ථය වෙනුවෙන් නැත්නම් තම රට-දැය-සමය හා බස වෙනුවෙන් තම ජීවිතයම කැප කළ සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂයේ නිර්මාතෘ වූ හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා යනු තම නමේ වචනාර්ථයෙන්ම සත්යවාදියකු ම විය. ශ්‍රී ලාංකික ගත් කතුවරයෙකු, පරිවර්තකයෙකු, ශබ්දකෝෂ සම්පාදකවරයෙකු, ගුරුවරයෙකු, නීතිඥයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා, ගම්පහ මිනුවන්ගොඩ මැඩෑමුල්ල නම් ග්‍රාමයේ දී උපත ලැබීය. දේශීය අක්ෂි වෛද්‍යවරයකු වූ ඩබ්.එම්.ඩී.බී. විජයතුංග පියාණන්ට සහ අමරාවතී ජයසිංහ මෑණියන්ට දාව සිවු වන දරුවා ලෙස 1931 ඔක්තෝබර් 25 දින මෙළොව එළිය දුටුවේය.
ගමේ ද්විභාෂා පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි හරිශ්චන්ද්‍ර ළදරුවා, දෙවන ලෝක යුද සමයේ කොළඹ නාලන්දාව මිනුවන්ගොඩ වෙත ගෙන ගොස් තිබුණ බැවින්, නාලන්දාවට ඇතුළු වීමේ වාසනාව ලැබීය. යුද සමයෙන් පසු කොළඹ නාලන්දාවට පැමිණි හෙතෙම පී. ද. එස්. කුලරත්නයන්, එල්. එච්. මෙත්තානන්දයන් සහ මහාචාර්ය ගුණපාල මලලසේකරයන් මඟ පෙන්වූ නාලන්දා සම්ප්රදාය තම ජීවිතය කර ගත්තේය. ආචාර්ය වෛද්‍ය ගුණදාස අමරසේකර සූරීන් පාසලේ දී ඔහුගේ පන්ති සගයා විය. ඉංශ්‍රීසි මාධ්‍යයෙන් විද්‍යා විෂය හැදෑරුව ද කලා කටයුතුවල නියැළීමට මෙන්ම හෙළ හවුලේ විද්වත් ඇසුර ලැබීමට ද හරිශ්චන්ද්‍ර විජයතුංග භාග්‍ය සම්පන්න වූවේ ය.
ඔහු විද්‍යා අංශයෙන් ඉහළින් සමත් වුව ද, වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය අතහැර කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය ලැබුවේ ලේඛනය කෙරෙහි දැක්වූ දැඩි උනන්දුව නිසා ය. අනතුරුව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ රසායන විද්‍යා ගුරුවරයා විය.
දේශපාලන දිවිය
හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා පක්ෂ දේශපාලනයෙහි නිරත වූයේය. ඒ ඔහුගේ සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය මුල්කරගත් ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයකු වශයෙනි. එය රට සූරා කෑමට නොව සිංහල බෞද්ධ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අරමුණු කරගෙන ගොඩනඟන ලද්දක් විය. ඒ හැර දේශපාලනයෙන් බඩ වඩාගැනීමේ කෑදරකමක් ඔහුට කිසිසේත්ම නොවීය. හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වූයේ නම් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වනවා නොඅනුමානය.
හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා සිය දේශපාලන කටයුතු ආරම්භ කළේ, විශ්වවිද්‍යාල සිසුවෙකුව සිටි අවධියේ දීය. 1990 වසරේ දී සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය පිහිටුවා ගත් ඔහු එහි නායකත්ව ධුරයටද පත්විය.
1994 හා 1999 වසරවල මෙරට පැවති ජනාධිපතිවරණ දෙකේදීම ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තම පක්ෂයෙන් තරග වැදුනේය. 1994 නොවැම්බර් 4 දින පැවති ශ්‍රී ලංකාවේ තෙවන ජනාධිපතිවරණයෙන් ඡන්ද 32,651 ක් ලබා ගත්තේය. ඉන් සය වසරකට පසු එනම් 1999 දෙසැම්බර් 21 දින පැවති ජනාධිපතිවරණයෙන් ඡන්ද 35,651ක් ලබා ගත්තේය. තවද 2000, 2001 හා 2004 වසරවල පැවති පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන්ද තරග කළේය.
සාහිත්‍ය දිවිය
1956 පෙරළියත් සමඟ සිංහලය නැවත රාජ්‍ය භාෂාව බවට පත්ව තිබූ අවධියයි. එවකට අධ්‍යාපන මාධ්‍යය ද සිංහල විය. එහෙත් සිංහල පොත්පත් විද්‍යාව වැනි විෂය ඉගැන්වීම සඳහා දුලබ අවස්ථාවක වහා ක්‍රියාත්මක වූ හරිශ්චන්ද්‍ර විජයතුංග, ඉංග්‍රීසි පොත්පත් පරිවර්තනයට සහ නව විද්‍යා පෙළ පොත් සම්පාදනයට උනන්දු විය. ඔහු 1956 සිට විවිධ ශබ්දකෝෂ ග්රන්ථ සම්පාදනයට ද දායක වූ අතර, මහා සිංහල ශබ්දකෝෂය ඒ අතර සුවිශේෂී වෙයි.
එතුමා ග්රන්ථ කර්තෘවරයෙක් වශයෙන් විද්‍යා, සාහිත්‍ය විචාර, ආගමික, ඉතිහාස, දේශපාලන, නීති, දේශීය වෛද්‍ය, බුද්ධ ශාසනයට සහ සිංහලයන්ට වන අහිතකර බලපෑම් ආදී වශයෙන් පොත්පත් රාශියක්, පුවත්පත් සඟරා කිහිපයක කර්තෘ ධුරය ද දරා ඇත. විශේෂයෙන් ම රට – දැය – සමය රැක ගැනීම වෙනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර එයට අමතරව පුවත්පත්වලට ලිපි සැපයීම ද කරනු ලැබීය.
නීතිඥයෙකු ලෙස සිංහල බෞද්ධ අයිතීන් සුරැකීම
හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා, ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හැදෑරූ අතර, 1973 දී නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දී ගම්පහ උසාවියේ සේවය කළේය. 1978 දී ඔහුට තම ජීවන වෘත්තිය මදකට අතහැරීමට සිදු විය. එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන තම රජය පත් වූ පසු 1977 අගෝස්තු 13 සිට සැප්තැම්බර් 15 දක්වා සිදු වූ සිංහල-දෙමළ වාර්ගික ආරවුල් සිද්ධීන් පිළිබඳ විමර්ශනය කිරීමට සන්සෝනි කොමිෂන් සභාව පත් කරනු ලැබීය. එය අවස්ථාවක් කරගත් දෙමළ අන්තවාදීහු අහේතුක-අසත්‍ය කරුණු කොමිෂම ඉදිරියේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළහ. මෙවැනි පසුබිමක නිස්සරණාධ්‍යාශයෙන්, සිංහල බෞද්ධයන්ට එරෙහිව ඉදිරිපත් වන දුර්මත බිඳ හෙළීමට ඉදිරිපත් වූ නීතිඥවරුන් අතර වැඩිම කැප කිරීමක් කළ හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා දෙමළ අන්තවාදීන්ගේ අභූත චෝදනා ඛණ්ඩනය කරමින්, සිංහල බෞද්ධ අයිතීන් සුරැකීමට අපක්ෂපාතී තීන්දුවක් ලබාගැනීමට කටයුතු කළේය.
හරිශ්චන්ද්‍ර මහතා ජීවිත කාලය පූරාම සිංහල බෞද්ධ අයිතීන් වෙනුවෙන් අභීතව පෙනී සිටියේය. මහාසම්මතවාදය සහ භූමිපුත්‍ර සංකල්පය රට තුළ ප්‍රවර්ධනය කර සිංහල බෞද්ධයනට තම අයිතිවාසිකම් මතක් කර දුන්නේය.