ලංකාවට සර්වජන ඡන්ද බලය හිමිවූයේ 1931 වර්ෂයේදීය. එහිදී කාන්තාවන්ටද ප්‍රථමවරට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවුවද, ඡන්ද බලයෙන් කිසිම කාන්තාවක් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් නොවිණි. එසේ වුවද, රුවන්වැල්ල මන්ත්‍රීවරයා වූ මීදෙණිය අධිකාරම් මහතාගේ හදිසි අභාවයත් සමඟ පැවති අතුරු මැතිවරණයෙන් ඔහුගේ දියණිය වූ මොලමුරේ කුමාරිහාමි ජයගත්තාය. ලාංකේය ඉතිහාසයේ පළමු කාන්තා නියෝජිතවරිය ඇය වන විට එයින් වසර දෙකකට පමණ පසුව පැවති අතුරු මැතිවරණයෙන් ද තවත් කාන්තාවක් ජය ගත්තාය. ඒ නේසම් සරවනමුත්තු මහත්මියයි.
කම්කරු ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇයගේ ඍජු සම්බන්ධයක් නොතිබිණි. එහෙත් ඇයගේ සැමියාවූ දොස්තර රත්නජෝති සරවනමුත්තු මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වූයේ නිදහස් කම්කරු පක්ෂයෙනි. එය ඒ.ඊ. ගුණසිංහ මහතාගේ කම්කරු පක්ෂයෙන් ඉවත්වූ කණ්ඩායමක් වීම විශේෂතාවකි. එමෙන්ම සරවනමුත්තු මහත්මිය මුල්ම දෙමළ ජාතික ජනතා නියෝජිතවරිය ද වූවාය.
කාන්තාව රාජ්‍ය පාලනය හා සම්බන්ධ නොවිය යුතුය යන මතය ක්‍රි.පූර්ව යුගයේ පටන්ම දිව එන්නකි. ප්ලේටෝ, ඇරිස්ටෝටල් ආදින්ගේ ඇතැම් ප්‍රකාශ මෙන්ම පැරණි භාරතීය ඉතිහාසයෙන්ද මේ බව තහවුරු වන අවස්ථා හමුවේ. කෙසේ වුව 20 වැනි ශතවර්ෂයේ මුල සිට කාන්තාවන් ගෙන ගිය සටනක ප්‍රතිඵලයක් ලෙස 1931දී ඩොනමෝර් කොමිෂන් සභාව කාන්තාවන්ට ඡන්ද බලය ලබා දීමට යෝජනා කර සිටියේය. ඒ අවස්ථාවේ එකල ප්‍රධාන පෙළේ දේශපාලනඥයකු වූ රාමනාදන් මහතා දැඩි විරෝධයක් ගොනු කරන ලදි.
“ වෙල්ලාල නොවන කුලවලට(එනම් උසස් කුලයේ වෙල්ලාල කණ්ඩායමට වඩා සමාජ තරාතිරම අතින් පහත් කුලවලට) ද, ගැහනුන්ටද ඡන්ද අයිතිය දීම වූ කලී, අසංවර රංචු මඟින් පාලනය කරනු ලැබීම කරා මඟපාදන බරපතළ වරදක් පමණක් නොව හින්දු ජීවිත ක්‍රමයට පිළිකුල්සහගත දෙයක් ද වෙයි.”
මෙවැනි විරෝධතා ගණනාවක් එල්ල වුවද, ඩොනමෝර් කොමිසමේ නියෝජිතයකු වූ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ සාමාජික ඩ්‍රාමන් ෆිලිප් විරෝධතා සියල්ල පසෙකලා කාන්තාවන්ට ඡන්ද බලය ලබාදීම සුදුසු බව නිගමනය කරන ලදි. මේ අනුව ඩොනමෝර් කොමිසම විසින් 1931 දී කාන්තාවන්ට පුරුෂයන් හා සමානව සර්වජන ඡන්ද අයිතිය ලබා දීමට තීරණය කෙරිණි. මැතිවරණයකට තරග කිරීමේ අවස්ථාව තිබුණත්, එම වසරේ පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා එක් කාන්තාවක් හෝ තරග කිරීමට ඉදිරිපත් වී නොතිබිණි. කාන්තාවන් කිහිපදෙනකු ඡන්දයට ඉදිරිපත් වුව ද මැතිවරණ දිනට දින කිහිපයකට පෙර තම නාම යෝජනා ඉල්ලා අස්කර තිබූ බව 1931 මාර්තු 05 “සන්ඩේ ඔබ්සර්වර්” පත්‍රයේ කතු වැකිය තහවුරු කර තිබේ.
“ලංකාවේ දේශපාලනයෙහි යෙදෙන ස්ත්‍රීන් කටට ගෙන හැපිය නොහැකි තරම් කෑම ප්‍රමාණයක් එක්වරම ගිලීමට උත්සාහ කරන අය බව පෙනේ. ලලනාවන් කිහිපදෙනෙක් තම ලොකුකම පෙන්වීමට නාම යෝජනා ඉදිරිපත් කළ නමුත් ආසන පොරයේ ගිනියම හා උණුසුම ඔවුන‍්ගේ ශරීරවලට එතරම් සුවදායක නුවූවා සේ ය. අපේක්ෂිකාවෝ හිමින් සීරුවේ නම් ඉවත් කර ගත්හ.”
පළමුවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය පැවැත්වූයේ 1931 ජූනි13 සිට ජූනි 20 දක්වා ය. මැතිවරණයට රුවන්වැල්ල නියෝජනය කරමින් ජයග්‍රහණය කළ මීදෙණියේ අදිකාරම් මහතා මියයෑම නිසා ඒ සඳහා අතුරු මැතිවරණයක් පැවැත්විණි. ඒ සඳහා මීදෙණිය අදිකාරම් මහතාගේ දියණිය වූ ඇඩ්ලින් මොලමුරේ මහත්මිය ඉදිරිපත් වූවාය. ඉන් ජයගත් ඇය රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූ ප්‍රථම කාන්තාව බවට පත්වූවාය. ඇය එවක කථානායක ෆ්රැන්සිස් මොලමුරේගේ බිරිය වීම ද විශේෂ ය.
තවත් කෙටිකලකින්ම මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවටම ප්‍රථම දෙමළ ජාතික කාන්තා නියෝජිතවරියද තේරී පත්වීය. එසේ පත්වූයේ උතුරු කොළඹ ආසනය නියෝජනය කළ නේසම් සරවනමුත්තු මහත්මිය සිය අසුන දිනාගත්තේ තවත් අතුරු මැතිවරණයක ප්‍රතිඵලයක් විය. රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූ දෙවැනි ශ්‍රී ලාංකික කාන්තාවද වූ නේසම් සරවනමුත්තු මහත්මිය රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වන්නේ අතුරු මැතිවරණ දෙකක අභියෝගයක් හමුවේ වීමද විශේෂය. ඇයගේ සැමියා වූ දොස්තර රත්නජෝති සරවනමුත්තු මහතා 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට උතුරු කොළඹ ආසනයෙන් තරග කර ජය ගත්තේය.
රත්නජෝති සරවනමුත්තු මහතා මැතිවරණයට ඉදිරිපත් වන්නේ නිදහස් කම්කරු පක්ෂයෙනි. එම පක්ෂය ගුණසිංහ මහතාගේ කම්කරු ව්‍යාපාරයෙන් බිදී ගිය පී.ජිවේන්ද්රසිංහ විසින් පිහිටුවා ගන්නා ලද එකක් වූ අතර, එම පක්ෂයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරුණු පළමු නියෝජිතයා වූයේ සරවනමුත්තු මහතාය. (ලංකාවේ කම්කරු ව්‍යාපාර ඉතිහාසය- පිටුව123, එන්.එස්.ජී. කුරුප්පු, නූතන යුගය) එමෙන්ම පළමුවන මැතිවරණ පෙත්සමේ වගඋත්තරකරු වීමේ ඉරණමට මුහුණ දුන් නියෝජිතයා රත්නජෝති සරවනමුත්තු මහතාය.( ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායකයේ කාන්තාවේ – බන්දුතිලක,මලල්ගොඩ,ශෙගා එන්ටර්ප්‍රයිසස්, කොළඹ -1991 පිටුව-52) කෙසේ වෙතත් මේ නිදහස් කම්කරු පක්ෂය ලෙස හඳුන්වන මැතිවරණ ව්‍යාපාරය ගුණසිංහ මහතාගෙන් වෙන්වූ පසු කම්කරු ව්‍යාපාරයට සම්බන්ධවම සිටියාද යන්න පැහැදිලි නැත. සරවනමුත්තු මහතා පසුකාලීනව එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ පළමු නගරාධිපතිවරයා ලෙස පත්වී සිටියේය.
එය එම මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූ දොස්තර එච්. එම්. පීරිස් මහතා ගොනු කරන ලද්දකි. අල්ලස් දීම, නිදහස් ලෙස ඡන්දය දීමට බාධා කිරීම, අසත්‍ය කරුණු ඇතුළත් පත්‍රිකා මුද්‍රණය කිරීමට ආධාර දීම යන චෝදනා සරවනමුත්තු මහතාට එරෙහිව ගොඩනඟා තිබිණි. චෝදනා සනාථ වීමෙන් පසුව සරවනමුත්තු මහතාට සිය අසුන 1932 මාර්තු මස 13 දින අහිමිවිය. වසර 7කට ප්‍රජා අයිතිය ද අහිමි කෙරිණි. අනතුරුව එම ආසනය වෙනුවෙන් අතුරු මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කෙරිණි. සරවනමුත්තු මහතා වෙනුවෙන් එම මැතිවරණයට ඉදිරිපත් වූයේ සරවනමුත්තු මහත්මියයි. 1932 මැයි 28 දා පැවති මැතිවරණය පිළිබඳ 1932 මැයි 30 දිනමිණ පුවත්පත මෙසේ වාර්තා කර තිබිණි.
“සෙනසුරාදා අලුයම් කාලයේ සිට උතුරු කොළඹ මහත් කලබල ස්වභාවයක් හා උත්සවශ්‍රීයක් ඉසිලීය. මේ ප්‍රදේශයට අයති වීදියක් පාසා විවිධ වර්ණ කොඩිවැල් ද ඇද තිබිණි. හිරු උදාවන්නටත් ප්‍රථම සිට කොඩි සවි කළ මොටෝරථ ඒමේ අත ගමන් කරන්නට විය. නමුත් කහපාට හා රතුපාට මිස අනික් පාට වැඩිපුර දක්නට නොලැබිණි. කහපාට මල් පැලඳගත් ස්ත්‍රීන්ගේ දර්ශන සෙනසුරාදා උතුරු කොළඹ ප්‍රදේශයෙහි පැවති විශේෂ ලක්ෂණයකි. ඡන්දය විමසීම ආරම්භ වූයේ පෙ.ව. 8ට නමුත් උදය කාලයේ සිටම මොටෝ රථවලින් මෙන්ම පයින්ද ඡන්ද දායකයෝ ඡන්දය විමසූ ස්ථාන කරා ගමන් ගත්හ. කොච්චිකඩේ පළාතේ පමණක් තරමක කලබලයක් හා තදබදවීමක් ඇතිවූ නමුත් කොතනකවත් බරපතළ කලබලයක් ඇති නොවීය. කවුරුවත් පාහේ ශාන්තභාවයෙන් කටයුතු කළහ. ඡන්දය විමසනු ලැබූ හැම ස්ථානයක්ම නියම වෙලාවට කලින් නොඉවසිලිවන්ත ඡන්ද දායකයන්ගෙන් පිරී ගියේය.”
මැතිවරණයෙන් ඇය ලැබූ ජය 1932 මැයි 30 වැනි දින පුවත්පත වාර්තාකර තිබුණේ “ රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වූ දෙවෙනි කාන්තාව” යන ප්‍රධාන සිරස්තලයෙන් සහ “සරවනමුත්තු මැතිනිය අටදාස් ගණනකින් ජය ගැනීම”, “එක් මහතෙකුගේ ඇපයත් නැතිවන බව” යන අනුසිරස්තලවලින් යුතුවය.
මෙසේ පැවති මැතිවරණයෙන් නේසම් සරවනමුත්තු මහත්මිය ඡන්ද 13114ක් ලැබුවේ සෙසු අපේක්ෂකයන් තිදෙනකා පහසුවෙන් පරාජයට පත්කරමිනි. දෙවැනි ස්ථානය ලැබූ ඇම්. ඇල්.ඇම්. රෙයාල් මහතා 4433ක් ඡන්ද ලබා තිබිණි. ඒ අනුව වැඩි ඡන්ද 8681 කින් අසුන ජය ගැනීමට ඇය සමත්වූවාය.
එහෙත් ඇයට ද මන්ත්‍රී ධුරය දැරීමට වැඩි කලක් ලැබුණේ නැත. ඇයට විරුද්ධව ඡන්ද පෙත්සමක් ගොනු කිරීමට එම මැතිවරණයෙන් පරාජයට පත්වූ දොස්තර එච්.ඇම්. පීරිස් මහතා කටයුතු කළේය. එහි චෝදනාව වූයේ ඇගේ මැතිවරණ සටනට ප්‍රජාඅයිතිය අහෝසිකර සිටි දොස්තර සරවනමුත්තු මහතා සහයෝගය දැක්වූ බවය. එල්ලවූ චෝදනාව පිළිගත් අධිකරණය 1932 සැප්තැම්බර් 27 වැනිදා ඇයගේ පත්වීම අවලංගු කළේය. නැවතත් 1932 නොවැම්බර් 12 වැනිදා අතුරු මැතිවරණය පැවති අතර එහිදී නැවත ඉදිරිපත් වූ නේසම් සරවනමුත්තු මහත්මිය වැඩි ඡන්ද ලබමින් නැවත උතුරු කොළඹ නියෝජිතවරිය බවට පත්වූවාය.
1936 දී පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට ඉදිරිපත්වූ ඇය උතුරු කොළඹ ආසනය ජය ගැනීමට නැවතත් සමත් වූවාය. මේ ජයග්‍රහණයේ විශේෂත්වයක් තිබිණි. එනම් 1936 පැවති එම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට කාන්තා නියෝජිතයන් කිහිප දෙනෙක්ම තරග කළහ.
එහෙත් ජය ගැනීමට හැකිවූයේ නේසම් සරවනමුත්තු මහත්මියට පමණි. 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි එකම කාන්තා නියෝජනය ද සරවනමුත්තු මහත්මියයි. එහිදී නේසම් සරවනමුත්තු මහත්මිය වැඩි ඡන්ද 4943කින් උතුරු කොළඹ ආසනය ජය ගැනීමට සමත් වූවාය.
රාජ්‍ය මන්ත්‍රණ සභාව පිට පිට දෙවතාවක්ම නියෝජනය කළ මන්ත්රීවරියද සරවනමුත්තු මහත්මියයි. 1941 ජනවාරි 19 වැනි දින අභාවප්‍රාප්ත වනතෙක් ඇය රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකාවක ලෙස කටයුතු කළ අතර දෙවන ලෝක යුද්ධය නිසා 1936 න් පසු නැවත රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයක් පැවැත්වීමක් සිදුවූයේ ද නැත.