‘පුළුවන් ශ්‍රී ලංකා’ දේශපාලන වේදිකාව රට බේරා ගැනීමේ වේදිකාව බවත්, එම වේදිකාවෙන් පිට සිටින්නේ ජනතාව මිය ගියත් දේශපාලන වාසි ලබාගත යුතු බව සිතු දේශපාලනඥයන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ ඊයේ (28) පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ විජයග්‍රාහී මහජන රැලියට එක් වෙමිනි.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අති විශාල ජනතාවක් එක්ව සිටියහ. ඔවුහු මෙහිදී මහත් හරසරින් යුතුව ජනාධිපතිවරයාව පිළිගනු ලැබූහ.
තවදුරටත් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
එය වැරදිනම් දේශපාලන වේදිකාවේදී මට පිළිතුරු ලබාදෙන ලෙස විවෘතව අභියෝගයක් කරනවා.
එදා ජනතාව පිළිබඳ නොසිතු සහ විසඳුමක් නොතිබු නායකයන් අද තමන්ව රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කෙසේ ද. නැවතත් රටේ මෙවන් අසීරුතාවයක් ඇති වුවහොත් සජිත් සහ අනුර පලා යන බව ඒකාන්තයි.
එබැවින් ඔබ කරදරේ වැටුණු අවස්ථාවේ ඔබ සමඟ සිටි නායකයකු ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට ජනතාව කටයුතු කළ යුතුයි. මෙවර ජනාධිපතිවරණයේ දී ගෑස් සිලින්ඩරයට ලබා දෙන ඡන්දය මුළුතැන් ගෙට ලබා දෙන ඡන්දයක් මෙන්ම රටේ සහ දරුවන්ගේ අනාගතය තීරණය කරන ඡන්දයක් බව මතක තබා ගන්න.
රටේ ආර්ථිකය කඩා වැටෙන විට දේශපාලන නායකයන් ලෙස අප වේදිකාවේ විවේචනය කරනමින් සිටිනවාද, නැත්නම් සියලුදෙනා එක්ව විසඳුමක් සොයනවාද කියා මම අහන්න කැමතියි.
ආහාර ටික සකස් කර ගන්න ගෑස් නොතිබූ අවස්ථාවේ, ඉන්ධන නොතිබූ අවස්ථාවේ කුමන පක්ෂයකට අයත් වුවත් තම හිතවතුන් බෙහෙත් නැතිව මිය යද්දිත් අප සිදු කළ යුත්තේ එක්ව විසඳුමක් සෙවීමයි. නැතිනම් තවමත් වාද විවාද කරමින් සිටිවාද කියා මම අහන්න කැමැතියි.
අප එකට එක් වුණා කියා විපක්ෂය අපව විවේචනය කරනවා. නමුත් මේ විවේචනය කරන අය මොනවද කළේ. ඔවුන් රටේ ප්‍රශ්නවලට විසඳුම් දුන්නද. ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කළාද. නැහැ. ඔවුන් වගකීම භාරදුන් විට පැනලා දිව්වා. නමුත් මට වගකීම භාර දුන් විට මම තනි මන්ත්‍රීවරයෙක් නිසා මා සමඟ එක්වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියා. මේ වේදිකාවේ සිටින අයටත්, සජිත් ප්‍රේමදාසටත්, අනුර දිසානායකටත් මම ඒ ආරාධනය සිදු කළා.
අද මේ වේදිකාවේ සිටින්නේ මා සමඟ එක් වූ පිරිසයි. වේදිකාවෙන් පිට සිටින්නේ ජනතාව මැරුණත් කමක් නැහැ, අපේ දේශපාලන වාසියගත යුතුයි කියා සිතු පාර්ශ්වයයි. එය වැරදි නම් මේ වේදිකාවට පැමිණ පිළිතුරු ලබා දෙන ලෙස මා පවසනවා.
එදා ජනතාව පිළිබඳ නොසිතු, විසඳුමක් නොතිබූ නායකයන් මාව රටේ ජනාධිපති කරන්න කියලා අද ජනතාව හමුවේ කියන්නේ කොහොමද, නැවතත් රටේ මෙවන් කරදරයක් ඇති වුවහොත් ඔවුන් කෙළින්ම කටුනායකට දුවලා රට අත හැරලා යයි. එතකොට අපි මොකක්ද කරන්නේ. ඒ නිසා තමන් කරදරේ වැටුණු අවස්ථාවේ තමන් සමඟ සිටින නායකයෙක් ඔබ තෝරාගත යුතුයි. නැවතත් රටේ අසීරු කාලයක් පැමිණයහොත් සජිත් හෝ අනුර ජනතාව සමඟ ඉන්නේ නැහැ.
ඒ නිසා ජනතාව අසීරුතාවට මුහුණ දුන් අවස්ථාවේ ළඟ නොසිටි නායකයන් දැන් පැමිණ පොත් කියවා පලක් නැහැ කියලා මම කියන්න කැමතියි.
බඩු මිල අඩු කරනවා. බදු සහන ලබා දෙනවා කියලා ඔවුන් අද වේදිකාවල ජනතාවට විවිධ පොරොන්දු දෙනවා. මේ මුදල් සොයන්නේ කෙසේද කියා ඔවුන් රටට ප්‍රකාශ කළ යුතුයි.
ඒ නිසා ඔබ ගැස් සිලින්ඩරයට ලබාදෙන ඡන්දය මා වෙනුවෙන් ලබාදෙන ඡන්දයක් නොවෙයි. මෙම ඡන්දය ඔබේ කුස්සියට ලබා දෙන ඡන්දයක්. මෙය මගේ අනාගතය තීරණය කරන මැතිවරණයක් නොවෙයි, මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් ඇති කර ගැනීමට සහ දරුවන්ට යහපත් අනාගතයක් ගොඩනඟාදීම වෙනුවෙන් ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදෙන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ජනපතිගේ ජය තහවුරු කරන පුළුවන් ශ්‍රී ලංකා ජන රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී ඊයේ (28) පැවැත්විණි. ජනපති රනිල් වික්‍රමසිංහ, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, අගමැති දිනේෂ් ගුණවර්ධන, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, මේජර් ප්‍රදීප් උඳුගොඩ, හිටපු මහඇමැති ඉසුර දේවප්‍රිය ඇතුළු මැති ඇමැතිවරු මෙහි වෙති.
ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා –
මීට වසර දෙකහමාරකට පෙර මන්ත්‍රීවරයෙක් ගෑස් කඩයක්, ඉන්ධන පිරවුම්හලක් අසලින් යෑමටත් බය වුණා. එදා කැබිනට් මණ්ඩලය රැස්වුණේ ස්ලිඩා ආයතනයේ ශ්‍රවණාගාරයේ. එසේ හෝ රැස්ව ගනු ලැබූ තීන්දු තීරණ නිසා අද වන විට රට ආර්ථික වශයෙන් ඉදිරියට ඇවිත් තිබෙනවා. පසුගිය අවුරුදුවල විවිධ පක්ෂවල හිටපු සියලු දෙනා අද මේ කඳවුරට ඇවිත් තිබෙනවා. ආර්ථිකය ගොඩගැනීමට මේ සියලු දෙනා පාට පක්ෂ භේදයකින් තොරව එකම වේදිකාවකට පැමිණ තිබෙනවා.
පසුගිය මැයි මාසයේ ජනාධිපතිතුමා රාජ්‍ය සේවයේ විෂමතා ඉවත් කරන්න කමිටුවක් පත්කළා. එම කමිටු වාර්තාව අනුව රාජ්‍ය සේවකයාගේ අවම වැටුප රුපියල් 55,000ක් වෙනවා. රාජ්‍ය සේවකයාට 35%කින් වැටුප් වැඩි වෙනවා. ඒ සියල්ල සිදු කළේ වැටුණු ආර්ථිකය ගොඩ ගන්නා අතරතුරයි. මහ භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා මහා බැංකුව සියල්ල සමඟ සාකච්ඡා කර ආර්ථිකය පිළිබඳ සෑම තීන්දුවක්ම ගත්තා. ජනප්‍රිය නොවුණත් නිවැරදි තීන්දු තීරණ ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා.
88-89 භීෂණ යුගය 2022 දී වසරේදී ජනතා විමුක්ති පෙරමුණ නැවත පෙන්නුවා. ගෙවල් ගිනි තිබ්බා මන්ත්‍රීවරු මහ මග මරා දැම්මා. මේ සියල්ල සිදු කරලා අද ජනාධිපතිකම ඉල්ලමින් තිබෙනවා. ජනතාව ඔවුන්ට රැවටෙන්නේ නැහැ.
ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා-
ජනාධිපතිවරණයේදී ජාතික ප්‍රතිපත්තියක් සකස් කර, එය නීතියක් බවට පත් කර, ජනාධිපති සටනට ඉදිරිපත් වන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම මත තමයි, අද රට ආර්ථික වශයෙන් හිස එසවීමට කටයුතු කර තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ ආර්ථික මට්ටම ජාත්‍යන්තරය පිළිනොගන්නා වකවානුවේදී ආර්ථිකය නඟා සිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැඩ පිළිවෙළ නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ ඇගයීමට ලක්ව තිබෙනවා.
ආර්ථිකය ගොඩ ගන්නා ගමන් අස්වැසුම, උරුමය සහ සහල් සහනාධාර ලබා දීමට ද ජනාධිපතිතුමා කටයුතු කළා. ඒ වගේම මුදල් මුද්‍රණය කිරීම නවතා දැමීම, ණය කළමනාකරණය කිරීම මේ වන විටත් සිදු කර තිබෙනවා. ආර්ථික පරිවර්තන නීතිය ගෙන විත් තිබෙනවා. මේ සියලු දේ සිදු කළේ ජනතාව වෙනුවෙනුයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය කිරීමේ කොටස්කරුවකු වීමට ඔබ සියලු දෙනා කැපවන්න.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා –
වසර දෙකක් දුක් විඳ ආර්ථිකය අගාධයෙන් එළියට ගත්තා විතරයි. මේ ආර්ථික තත්ත්වයෙන් නැවත අගාධයට යනවද නැද්ද කියන කාරණය එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා තීරණය වෙනවා. ආර්ථික ඔස්තාර්ලා ඉන්නවා කියන සමගි ජන සංධානය එදා අර්බුදය හමුවේ රට බේරා ගන්නට ඉදිරියට ආවේ නෑ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කරන්න බැරි දේවල් කියන්නෙ නැහැ. බොරු සුරංගනා පොරොන්දු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලබාදී නැහැ. රට ආර්ථික වශයෙන් ගොඩනැඟුණු නිසා වැටුප් විෂමතා පිළිබඳ කමිටුව 2025 වසරේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප 25,000කින් වැඩි කිරීමට හැකි වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ගැන ජනාධිපති වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාසටත්, අනුර දිසානායකටත් අභියෝග කළා. සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රසිද්ධ ලිපියක් එවලා ඔහුට තනියම ඉදිරිපත් වෙන්න බෑ කියලා. අනුර දිසානායක නම් ලියුමක්වත් ඒවා නැහැ. ජාත්‍යන්තරයක් සමඟ තනිව කතා කළ හැකි ලංකාවේ සිටින එකම ජාතික නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයායි. ඒ නිසා තනියම ජනතාව වෙනුවෙන් පෙනී සිටිය හැකි ජාතික නායකයා නියත ජනාධිපති කරමු.
පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා –
වාමවාදී දේශපාලන කඳවුරේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව්කරන්න පැමිණියේ ආර්ථිකය කඩාවැටී ජනතාව පීඩාව පත්වන වේලාවේ ඉදිරියට පැමිණ රට භාරගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා නිසයි. මේ රටේ ප්රජාතන්ත්රවාදය අහෝසි වී තිබෙන යුගයක රනිල් වික්‍රමසිංහ මහතා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමටද කටයුතු කළා. එදා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා නොකළා නම් අද රට බංග්ලාදේශයක් බවට පත්වී හමාරයි. රට ආරක්ෂා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති කරන්න කැපවෙමු.
හිටපු ඇමැති රවී කරුණානායක මහතා –
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගොඩනැගූ ආර්ථිකය ඉදිරියට ගෙන යනවද නැද්ද කියා ලබන සැප්තැම්බර් විසි එක්වැනි දා ජනතාව තීන්දු කරන දිනයයි. මේක වසරක් දෙකකට පෙර පැමිණි ආර්ථික අභියෝගය හමුවේ කයියනායකලා රට භාර ගත්තේ නැහැ. සැබෑ නායකයන් නිර්මාණය වන්නේ අභියෝග තිබෙන අවස්ථාවලදීයි. ඊට අනුව මීට වසර දෙකකට පෙර දී නිර්මාණය වුණු ජාතික නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි.
ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍යය අරමුදල සමඟ විවාදයකට තනියෙන් එන්න බැරි නායකයින්ට රට ගොඩනඟන්න පුළුවන්ද?
විපක්ෂයේ සිටිනකොට ඕනෑ දෙයක් කියන්න පුළුවන්. නමුත් අභියෝග හමුවේ ආණ්ඩුව භාර නොගන්නේ තමන්ට කරන්න බැරි නිසයි. විපක්ෂයේ කණ්ඩායම් ලබා දෙන පොරොන්දු ඉටු කරන්න පුළුවන්ද කියා ජනතාව සිහි බුද්ධියෙන් සිටිය යුතුයි. 21 වැනි දා වැරදුණහොත් යළි රට ගොඩනඟන්න බැහැ. ඒ නිසා නිවැරැදි තීරණයක් ගන්න.
හිටපු ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා –
ආගම්වාදයක් ජාතිවාදයක් නැතිව ලංකාවේ පැවැත්වෙන පළමුවැනි මැතිවරණය මෙවර පැවැත්වෙනවා. මෙතෙක් කල් පැවති මැතිවරණවල ප්‍රධාන සටන් පාඨය වුණේ ජාතිවාදය හෝ ආගම්වාදයයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ඉතිහාසය තුළ ඔහු කිසිදු අවස්ථාවක ජාතිවාදය හෝ ආගම්වාදය තමන්ගේ දේශපාලනයට ඈඳා ගෙන නැහැ.
මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස හෝ අනුර දිසානායක බලයට පැමිණියහොත් මාස හයක් යන්නට පෙර ගෑස් පෝලිම්වලට, ඉන්ධන පෝලිම්වලට යන්නට ජනතාවට සිදුවෙනවා. එම නිසා වැටුණු ආර්ථිකය යළි ගොඩනැඟු සහ ආර්ථිකය තවදුරටත් ඉදිරියට ගෙන යන්න පුළුවන් එකම නායකයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපතිධුරයට පත් කර ගත යුතුව තිබෙනවා.
නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා –
සුනිල් හඳුන්නෙත්ති, ලාල්කාන්ත වැන්නන්ගේ මැදිහත් වීමෙන් බංග්ලාදේශය වැනි රටක් කිරීමට තිබූ ශ්‍රී ලංකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද මේ වගේ තැනකට ගෙනවිත් තිබෙනවා. අද වේදිකාවක් වේදිකාවක් ගානේ පොරොන්දු දෙන දේශපාලන කණ්ඩායම් රට ආර්ථික අර්බුදය වැටුණු වේලාවේ කොහෙද හිටියේ කියා ඇසිය යුතුයි. 2022 වසරේ ජූලි 10 වැනිදා හවස 6.32 වෙනකම් ඉඳලා සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්ව අගමැතිකම භාර ගන්න කබීර්ලා, එරාන්ලා හර්ෂලා කැමති නෑ කියලා. නාලක ගොඩහේවා එදා ජනාධිපති කාර්යාලයේ ඉඳලා සජිත් ප්‍රේමදාසට කේලම් ටික කිව්වා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා විනාඩි 17ක් සකච්ජා කරලා අගමැතිකම භාර ගත්තා.
අනුර දිසානායක මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකතන ඇමතුම් දුන්නත් ඒ කිසිවකට උත්තරයක්වත් දුන්නෙ නෑ. එහෙම නායකින් අද ජනතාව වෙනුවෙන් කියා ගෙන ජනාධිපතිකම වෙනුවෙන් වේදිකාවක් වේදිකාවක් ගානේ කෑගහමින් සිටිනවා. නමුත් පුරවැසියාගේ වගකීම දන්න ඔබලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කෘතවේදීත්වයේ මනාපය ලබාදී එළඹෙන ජනාධිපතිවරණය විජයග්රහණයක් කරවන බවට මා විශ්වාස කරනවා.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අගමැති දිනේෂ් ගුණවර්ධන, ඇමැති ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ, යදාමිණි ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, බස්නාහිර හිටපු ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය, හිටපු ඇමැතිවරුන් වන ජීවන් කුමාරතුංග, චන්දන කත්‍රිආරච්චි, කොළඹ හිටපු පුරපතිනි රෝසි සේනානායක, වෘත්තීය කටයුතු පිළිබඳ ජනාධිපති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්ම මහත්මීන් සහ පළාත් දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප – රංජිත් අසංක – සුදත් මලවීර