පරිසරය හා වන සම්පත රැක ගැනීමත්, මේ වන විට භාවිතයෙන් ඈත්වෙමින් පවතින ඉපැරණි ගෘහ උපකරණ, ගොවි උපකරණ ඇතුළු ස්වභාවික සම්පත් ඇසුරින් නිමවා ගත් උපකරණ හා මෙවලම් පිළිබඳවත් ප්‍රජාව දැනුම්වත් කිරීම උදෙසා බදුල්ල දිසා වන කාර්යාලයේ සමාජ වන විද්‍යා හා වන ව්‍යාප්ති අංශය මගින් සැකසුණු ‘වන උරුමය’ජංගම වැඩසටහන මේ වන විට බදුල්ල හා අවට ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කෙරේ.
බදුල්ල දිසා වන කාර්යාලයේ නියෝජ්‍ය වන සංරක්ෂක ප්‍රනීත් පෙරේරා මහතාගේ උපදෙස් හා එම කාර්යාලයීය සමාජ වන විද්‍යා හා වන ව්‍යාප්ති අංශයේ සංවර්ධන නිලධාරී සම්පත් ජයරත්න මහතාගේ සංකල්පයක් අනුව ප්‍රදේශයේ පාසල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන හා ස්වේච්ඡා සංවිධාන ආදියෙහිදී ප්‍රායෝගික අත්දැකීම් ලබා දීමද සමඟින් මෙම ‘වන උරුමය’වැඩසටහන පවත්වයි.
ප්ලාස්ටික් හා විදුලි උපකරණ භාවිතයත් සමඟ ක්‍රමක්‍රමයෙන් භාවිතයෙන් ඈත්වූ හා මේ වන විට ප්‍රදර්ශන භාණ්ඩ බවට පත්ව ඇති කුරහන් ගල, මිරිස් ගල, ලී වංගෙඩිය, ගල් වංගෙඩිය, මෝල්ගස, බටපොතු කුල්ල, හැවන් වට්ටි පෙට්ටි, පන් පැදුර, කුරුණිය, බෝලත්ත, නඟුල, කොසු ඉදල්, ඇතැම් වඩු උපකරණ, ධීවර කටයුතු සඳහා භාවිත වූ උපකරණ ඇතුළු උපකරණ හා මෙවලම් රාශියක් පිළිබඳව සහ පරිසරය ගහකොළ ඇළදොළ සතා සීපාවුන් ඇතුළු සොබාදහම හා වන සම්පත රැක ගැනීම පිළිබඳවත් පාසල් දරුවන් ඇතුළු ප්‍රජාව දැනුම්වත් කිරීම මෙහිදී සිදු කෙරේ.
හාලිඇළ සමූහ
ආර්.එම්. විජේරත්න