ග්‍රාමීය ආර්ථිකය සවිමත් කරමින් අසරණ ජනතාව දුප්පත්කමින් මුදා ගන්නා සමෘද්ධි ව්‍යාපාරය, තම ආණ්ඩුවකින් තවදුරටත් ශක්තිමත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
සමෘද්ධිලාභියා ව්‍යවසායකයෙක් බවට පත් කරන බව පෙන්වා දෙන ඒ මහතා සමෘද්ධි පවුලක දරුවාට දේශීය විදේශීය රැකියා වෙළෙඳපොළට යෑමට අවකාශය සලසන බව ද ඒ අනුව ජනතාව සැමදා සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනවා වෙනුවට දේශීය ආර්ථිකයට ආදායම් උත්පාදනය කර දෙන පිරිසක් බවට පත්කරන බවද කියා සිටී.
ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් කුරුණෑගල, රිදීගම සතිපොළ ක්‍රීඩාංගණයේ දී පෙරේදා (26) පස්වරුවේ පැවැති ජනහමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ජනරැලිය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.
මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේ දොඩම්ගස්ලන්ද ආසනයෙන්. ඒ වගේම තමයි වමේ දේශපාලනය විශ්වාස කළ අපේ කඳවුරේ හැම ජයග්‍රාහී මැතිවරණයක්ම ආරම්භ කළේ මේ ආසනයෙන්. අපි හැම මැතිවරණයක්ම අවසන් කළේ ජයග්‍රහණයකින්. අපි පක්ෂයක් විදියට මේ රටට වැඩ කළ දේශපාලන බලවේගයක්. අපි මේ රටට ද්‍රෝහීවන, රට බෙදන හෝ ජනතාව අපහසුතාවට පත්කරන කිසිම කාරණයක් අපි කර නැහැ. අපි හැමදාම විශ්වාස කරන්නේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පමණයි අපේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් කියන එක. අපේ රටේ ආර්ථිකය දීර්ඝකාලීනව ශක්තිමත් කරන්න පුළුවන් ගොවියා, ධීවරයා, කම්කරුවා ශක්තිමත් කිරීමෙන් ගමේ ජීවත්වන ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීමෙන් පමණයි. ඒ නිසා මම විශ්වාස කරනවා අපි හදන ආණ්ඩුවකින් මේ රටේ ගමේ ජීවත්වන මව්පියන්ගේ අතට මුදල් ලැබෙන විදියට මේ ආර්ථිකය ප්‍රතිව්‍යූහගතකරණය කරන්න ඕනෑ. ගමේ ව්‍යවසායකයාට ගමේ සමුපකාර ව්‍යාපාරය, සමෘද්ධි ව්‍යාපාරය හරහා ග්‍රාමීය බැංකු පද්ධතිය හරහා ගමේ ව්‍යවසායකයාට අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය ලබාදීමට අදාළ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා.
සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරන්න ඕනෑ. ඇයි මේ සමෘද්ධිය දෙන්නේ කියා අද සමහරු අහනවා. ඇයි 5000 බැගින් දෙන්නේ කියනවා. එහෙම කියපු අය අස්වැසුම ගෙනවිත් මාස තුනෙන් හයෙන් නැතිවන ව්‍යාපෘති නිර්මාණය කළා. සමෘද්ධි ව්‍යාපාරයෙන් තමයි මේ රටේ ග්‍රාමීය ආර්ථිකය වගේම අහිංසක මව්පියන් දුප්පත්කමින් එළියට ගන්න පුළුවන් වැඩපිළිවෙළ තිබෙන්නේ. ඒ අනුව මම හදන ආණ්ඩුවේ සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරනවා. අපි සමෘද්ධිලාභියා ව්‍යවසායකයෙක් කරනවා. ඒ අනුව එම ජනතාව හැමදාම ප්‍රතිලාභීන් වෙනවා වෙනුවට ඔවුන් දේශීය ආර්ථිකයට ආදායම් උත්පාදනය කර දෙන අයෙක් කරනවා. එයයි අපි මේ රටේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ තුළින් අපි දේශීය ව්‍යාපාරිකයා ගොඩනඟන්නත් බලාපොරොත්තු වෙනවා. සමෘද්ධි ව්‍යාපාරයේ මූලික හරය ආරක්ෂා කිරීමත් අපේ බලාපොරොත්තුවක්.
අපි අවුරුදු 30ක් යුද්ධ කළා. ඒ කාලයේ බොහෝ නායක නායිකාවන් සාමය ගේන්න බලය ඉල්ලුවා. සමහර අය ගිවිසුම් අත්සන් කළා. එහෙම ගිවිසුම් අත්සන් කර ප්‍රභාකරන් මහත්තයා ඔය පැත්තේ ඉන්න. අපි මේ පැත්තේ ඉන්නම් කිව්වා. තවත් සමහරු යුද්ධ කරනවා කිව්වා. නමුත් සමහරුන්ගේ අවුරුදු 30ක් සටන් පාඨය වුණේ යුද්ධය අවසන් කරනවා කියන එකයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු තුනක් ඇතුළත ඒ කාර්ය කළා. යුද්ධය අවසන් කළා පමණක් නොව මේ රටේ ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවන්න, යටිතල පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර ගත්තා. මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දරුවෝ තමයි බහුතරයක් යුද්ධයට ගිහින් ත්‍රස්තවාදය අවසන් කරන්න පියවර ගත්තේ. වයඹ දරුවෝ තමයි එදා මවුබිම බේරා ගැනීමට සටන් කළේ. අපේ ප්‍රාදේශීය නායකයන්, දේශපාලනයේ පිරිස් ඉන්නවා යුද්ධයට ගිහින් මේ රට බේරගත් අය. ඒ රණවිරුවන්ට තිබුණ අභිමානය නැති කරන්නත් පසුගිය කාලයේ ඇතැමුන් කටයුතු කළා. ඒ අභිමානය නැති කළා. එක් පැත්තකින් මහා සංඝරත්නයට මඩ ගැසුවා. මේ රටේ සංස්කෘතිය නැති කරන්න උත්සාහ කළා.
මේ රටේ රණවිරුවන්ගේ අභිමානය නැති කරන්න උත්සාහ කළා. අපේ රට බේරාගන්න ජීවිතය පූජා කළ, අතපය නැති වුණු තමන්ගේ හෙට දවස වෙනුවට දරුවන්ගේ හෙට දවස කල්පනා කළ රණවිරුවාගේ ගෞරවය ආරක්ෂා කරන්නත් අපි හදන ආණ්ඩුවකින් කටයුතු කරනවා. ඒ ගෞරවය, අභිමානය අපි ආරක්ෂා කළ යුතුයි. තරුණ පරම්පරාව අපේක්ෂා කරන රැකියා දෙන්න අපි ආයෝජකයන් ගමට ගේනවා. ගමට ගේන ආයෝජකයන්ට අවශ්‍ය පසුබිම අපි හදා දෙනවා. යටිතල පහසුකම් ටික අපි හදලා දෙන්න ඕනෑ. යටිතල පහසුකම් හදනවා වගේම ආයෝජකයන්ට ආයෝජනයට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතුයි. අපි හදන ආණ්ඩුවකින් මේ රටේ හැම මැතිවරණ කොට්ඨාසයකටම කර්මාන්තයක් ආරම්භ කරන්න පියවර ගන්නවා. මේ රටේ තරුණ පිරිස අපේක්ෂා කරන තාක්ෂණය සමඟ බද්ධවුණු පරිවර්තනය වගේම රැකියා බිහි කිරීමේ වැඩපිළිවෙළින් විරැකියාව අවසන් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. එළඹෙන 22න් පසු මේ රට නැවත වැඩබිමක් බවට පත්කරන ඔබගේ ආණ්ඩුවක් පිහිටුවන්න කටයුතු කරනවා.
සැප්තැම්බර් 22 දායින් පසු අපි පිහිටුවන ආණ්ඩුව රටේ සංවර්ධනය වගේම මහින්ද රාජපක්ෂ මහතා නතර කළ තැනින් ඉදිරියට ගෙන යන්න පොරොන්දු වෙනවා.
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමි –
හාමුදුරුවනේ රනිල් මහත්තයා පෝලිම් ඉවර කළා. ඒ නිසා රනිල්ගේ වේදිකාවට නැග්ගොත් හොඳයි නේද කියා මගෙන් මේ ළඟදී ගොවියෙක් ඇහුවා. අපි කිසිම අවස්ථාවක ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. යුද්ධය අවසන් කළ ආදරණීය නායකයා මහින්ද රාජපක්ෂ දාලා යන්නේ නැහැ.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර, මහත්වරුද මෙහිදී කතා කළහ.
රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජානක තිස්සකුට්ටිආරච්චි, සමන්ප්‍රිය හේරත් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
මහින්ද අලුත්ගෙදර දොඩම්ගස්ලන්ද සිට…
ඡායාරූප – සුදත් නිශාන්ත