නාවලපිටිය, ගම්පොළ පදිංචි 97 වැනි වියේ පසුවන විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න මාතාව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා වාර්තාවක් පිහිටුවා ප්‍රදේශයට ගෞරවයක් ගෙන දීමට සමත්ව සිටින්නීය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ පැවති එම විශ්වවිද්‍යාලයේ 143 වැනි උපාධි ප්රදානෝත්සවයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත මහා නාහිමියන්ගේ අතින් මේ උපාධිය ඇයට පිරිනැමිණි.
ඇය ගත් මේ ශාස්ත්‍රපති උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයීය උසස් අධ්‍යාපන ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් සේම එවැනි වයෝවෘද්ධ කාන්තාවක් තැබූ ඓතිහාසික වාර්තාවක් ද වන්නීය. ලීලාවතී මාතාවගේ දූවරුන් සිව් දෙනා ද උපාධිධාරීන්ය. 1927 නොවැම්බර් මස 30 වැනි දින හොරණ, මිල්ලෑව ගමේ උපන් ලීලාවතී මිල්ලෑව බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 1946දී ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය දෙකෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී එයින් සමත්ව ඇත. පසුව ඉංග්‍රීසි ගුරුවරියක ලෙස පත්වීම් ලැබූ ඇය 1955 දී නොතාරිස් විභාගයට පෙනී සිට එයින් ඉහළින්ම සමත්ව නොතාරිස්වරියක ලෙස රාජකාරිය අරඹා ඇත. ගාල්ල, බද්දේගම නොතාරිස්වරිය ලෙස සිටි ඇය පසුව වලපනේ ප්‍රදේශයට සේවා මාරුවක් ලබා පැමිණියාය. එහිදී නොතාරිස්වරුන්ගේ සම්මේලනයේදී ඇයගේ සහකරු වන චිත්රසෝම ජයලත් මහතා හමුවී 1962දී ඔහු සමඟ විවාහ විය.
චිත්රසෝම ජයලත් ගම්පොළ රාජකාරී කරන අතරතුර මොවුන් නාවලපිටිය, පල්ලේගම පදිංචියට පැමිණ දරුවන් හදා වඩා ගනිමින් සිටියදී 1970දී චිත්රසෝම හදිසියේ මෙලොව හැර යයි. ඒ වන විට ලීලාවතී මාතාවට කුඩා ගැහැනු දරුවන් සිව් දෙනකු මෙන්ම ඥාති දියණියන් දෙදෙනකු සමඟ ගැහැනු දරුවන් හය දෙනකුගේ වගකීම භාරවී තිබිණි.
ඇය ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දී මේ සය දෙනාටම හොඳින් උගන්වා ඇති අතර, ඔවුන් හය දෙනාම අද ඉතා උසස් රැකියාවල නිරතව සිටී. ලීලාවතී මාතාවගේ වැඩිමහල් දියණිය ධම්මිකා ජයලත් වෛද්‍යවරයෙකි. ඇය බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරියයි. දෙවැනියා වූ සමුද්‍රා ජයලත් ඉංජිනේරු උපාධිධාරිනියකි. ඇය මේ වන විට ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියකි. තෙවැනියා ඉන්ද්‍රනීලා ජයලත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර, අද ඇය ගුරුවරියකි. සිව් වැන්නා වූ මනෝහාරී ජයලත් නීතිඥවරියකි. අනෙක් දියණිය නයෝමි මනෝමන් ජයලත් හෙදියකි. එසේම ඉහේෂා දිල්රුක්ෂි ජයලත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන්නීය.
දරුවන්ගේ සියලු කටයුතු සාර්ථකව නිමා කළ ලීලාවතී මාතාව කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධියත්, ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධි හිමි කර ගත්තේ එම විශ්වවිද්‍යාලයේ වයස්ගතම ශිෂ්‍යාව ද වෙමිනි.
ඇයගේ ඊළඟ බලාපොරොත්තුවවී ඇත්තේ ආචාර්ය උපාධිය ගැනීමයි. එම කටයුතුවලට සූදානම් වන ඇය මේ වන විට පරම්පරා හයක් දැක තිබේ. ලීලාවතී මාතාවට ආචාර්ය උපාධිය පිළිබඳ සිහිනිය ද ළඟා කරගැනීමට හැකි වේවායි අපි ප්‍රාර්ථනය කරමු.
ගම්පොළ – සුරංග දිල්හාන්