එළඹෙන මහ කන්නයේදී වැඩි වී අස්වැන්නක් ලබාගැනීමට හැකි වන පරිදි සහ වී වගාව සඳහා ගොවීන් දිරිගැන්වීම වෙනුවෙන් හෙක්ටයාර දෙකක් සඳහා ගෙවනු ලබන පොහොර සහනාධාරය රුපියල් 50,000ක් දක්වා වැඩි කිරීමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (27) ප්‍රකාශ කළේය. ගොවීන් සඳහා දැනට හෙක්ටයාරයකට රුපියල් 15,000ක් පොහොර සහනාධාරය ලෙස ගෙවීමට ගෙන තිබූ තීරණය වෙනස් කරමින් එම මුදල රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
වී ගොවීන් වෙනුවෙන් ලබාදෙන පොහොර සහනාධාරය වැඩි කළ යුතු බවට විෂය භාර අමාත්‍යවරයා දිගින් දිගටම කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළ බවත් සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
පොහොර සහනාධාරය ලෙස රුපියල් පහළොස්දහස වෙනුවට රුපියල් තිස්දහසක් ලබාදිය යුතු බවට විෂය භාර අමාත්‍යවරයා ඉල්ලීම් කළ බවත් මේ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාර ප්‍රධානීන් සමඟ ද සාකච්ඡා කර වහාම ක්‍රියාත්මක වන පරිදි පොහොර සහනාධාරය හෙක්ටයාරයකට රුපියල් විසිපන්දහස බැගින් ගෙවීමට තීරණය කළ බවත් හෙතෙම පැවසීය. ඒ අනුව හෙක්ටයාර් දෙකක් සඳහා රුපියල් පනස්දහසක මුදලක් ගොවීන්ගේ ගිණුම්වලට ලැබෙන පරිදි මූල්‍යමය සහනාධාරය ලබාදීමට තීරණය කළ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා සහනදායී පොලී අනුපාතයක් මත වාණිජ බැංකු හරහා රුපියල් මිලියන 6,000ක උපරිමයක් දක්වා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ඔඩපණ ණය ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. වී මිල දී ගැනීමේ තරගකාරිත්වය ඉහළ නැංවීමේ සහ එළඹෙන මහ කන්නයේ වී නිෂ්පාදනය දිරිගැන්වීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගනිමින් යෝජනා ගණනාවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව 2024 යල කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන සඳහා සක්‍රියව සහභාගි වීමට හැකි වන පරිදි වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන සලසා දීමට ද අනුමැතිය හිමිවී ඇත.
එමෙන්ම වී අලෙවි මණ්ඩලය මඟින් නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 105ක් බැගින් ද සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 115ක් බැගින් ද කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130ක් බැගින් ද මිල දී ගැනීම සිදු වේ.
ස්වර්ණා විජේකෝන්