වැල් පාලමේ ගමන අතරමඟ නතර කළහොත් සියලු රට වැසියන් ගඟට ඇද වැටෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාවනැල්ලේ ” පුළුවන් ශ්‍රී ලංකා”ජනපතිවරණ විජයග්‍රාහී ජන රැලිය අමතමින් ඊයේ ( 27) ප්‍රකාශ කළේය.
රටේ ආර්ථිකය හදන්නට කිසිදු සැලසුමක් ඉදිරිපත් නොකරන සජබෙ සහ ජවිපෙ උත්සාහ කරන්නේ වැල් පාලමේ රැහැන් දෙපැත්තෙන්ම කපා දමා ජනතාව ගඟට ඇද දැමීමට යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
වැල් පාලමේ ඉතිරි කොටස ගෙවා දමා දුෂ්කර ගමන අවසන් කොට ආර්ථික සමෘද්ධිය උදාකර ගන්නවාද? නැතිනම් ගඟට වැටී අනාගතය නැති කරගන්නවාද? කියා සැප්තැම්බර් 21 වෙනිදා ජනතාව බුද්ධිමත් තීරණයක් ගත යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා කීය.
මාවනැල්ල බස් නැවතුම්පොලේදී මෙම ජනරැළිය පැවැත්විණි.
මාවනැල්ල ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම ජන රැලියට එක්වී සිටි අතර ඔවුහු මහත් හරසරින් යුතුව ජනාධිපතිවරයාව පිළිගත්හ.
ජාතික ජන බලවේගයේ මාවනැල්ල අලුත්නුවර කොට්ඨාස සංවිධායක ප්‍රසන්න ඉන්දික මහතා ඇතුළු ක්‍රියාකාරින් පිරිසක් ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක්වීම ද විශේෂත්වයකි.
එමෙන්ම විශ්‍රාමික හමුදා සමූහයේ මාවනැල්ල ආසන සංවිධායකවරයා ඇතුළු කණ්ඩායමක් ද වේදිකාවට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට සහාය පළ කළ අතර රටේ කර්මාන්ත ක්ෂේත්‍රය සවිබල ගැන්විම සඳහා ජනාධිපතිවරයා ඉටුකරන මෙහෙවර උදෙසා උපහාර පුද කිරීම ද සිදු කෙරිණි.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට නම් වැල් පාලමේ ගමන ඉදිරියටම යා යුතු බවත්, වැල් පාලම කපා දැමුවහොත් වැටෙන්නේ ගඟට යන සත්‍යයද ජනතාව අවබෝධ කරගත යුතු බවත්ය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බදු ආදායම අඩු කිරීම සිදු කළහොත් රාජ්‍ය ආදායම බිලියන 200කට වැඩි මුදලක් අඩු වන බවත් ඔවුන් පවසන අන්දමට බඩු මිල අඩු කිරීමක් ද සිදු කළ නොහැකි අතර ආදායම් අඩු කර, වියදම් වැඩි කර ආර්ථිකය පවත්වාගෙන යන්නේ කෙසේද යන ගණිතය නොදන්න ඔවුන් ජනතාව නොමග යවමින් සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය
මම මීට පෙර මාවනැල්ල දේශපාලන වේදිකාවක කතා කළේ එක්සත් ජාතික පාක්ෂිකයන් ඇමතීම සඳහායි. අද මම මේ දේශපාලන වේදිකාවට පැමිණියේ සියලු පාක්ෂිකයන් වෙනුවෙන් කතා කිරීමටයි. මගේ නායක හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා උගන්වා තිබුණේ රටට අසීරු කාලයේ පක්ෂය අමතක කර රට ගැන හිතන්න කියලයි. 1971 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ඇති වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා ලෙස එතුමා ප්‍රකාශ කළා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ආරක්ෂා කිරීම වෙනුවෙන් අපේ සහයෝගය ආණ්ඩුවට ලබා දෙනවා කියලා. එම අවස්ථාවේ අපේ පක්ෂයේ තරුණ සංවිධානයේ ලේකම්වරයා සහ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ පුතා සිර භාරයට ගෙන තිබුණා. නමුත් එතුමා ප්‍රකාශ කළේ ඒවා අපි පසුව විසඳාගමු පළමුව රට බේරාගත යුතුයි කියලයි. එවන් අවස්ථා ගණනාවක් අපේ දේශපාලන ඉතිහාසයේ තිබෙනවා. ඒ නිසා රටට අසීරු අවස්ථාවේ පක්ෂ වශයෙන් අප එක් විය යුතුයි.
අද සෑම පක්ෂයකම කණ්ඩායම් මෙහි සිටිනවා. ඒ නිසා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අනුගමනය කරනවා නම් පක්ෂ දේශපාලනයට පෙර රට ගැන සිතා කටයුතු කරමු කියා මම එක්සත් ජාතික පාක්ෂිකයන්ට පැවසීමට කැමතියි. මම ගිහින් මේ පක්ෂ සමඟ එක් වුණා කියා කිසිවෙක් හෝ මට චෝදනා කරනවා නම් ඔහු එක්සත් ජාතික පාක්ෂිකයකු නොවන බව මම ප්‍රකාශ කරනවා.
විපක්ෂ නායකවරයා කියන්නේ රටේ විකල්ප අගමැතිවරයායි. ඔහු රට අසීරු අවස්ථාවකට මුහුණදුන් විට ඒ වගකීම භාරගත්තේ නැහැ. ඒ නිසා ඔහු එක්සත් ජාතික පාක්ෂිකයකු නොවෙයි.
එදා ගෑස් පෝලිම්, තෙල් පෝලිම් තිබුණා. ප්‍රචණ්ඩත්වය රටම වෙලාගෙන තිබුණා. සෑම කෙනෙක්ම දුක් වින්දා. මම රට භාරගත්තේ එම දුක නැති කිරීමටයි . ඒ වෙනුවෙන් මට සියලුදෙනා සහාය ලබා දුන්නා. ඒ නිසා මට රට ගොඩගැනීමට හැකියාව ලැබුණා.
අද අප ආර්ථික ස්ථාවරභාවය කරා සාර්ථකව ගමන් කරනවා. ජීවන බර තවත් අඩු කරමින් ජනතාවට සහන ලබාදීමට අප කටයුතු කරනවා. ආර්ථිකය ස්ථාවර කර අප අපනයන ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. අප මෙම සටන ජයග්‍රහණය කරන්නේ එවිටයි. අප දරු පරපුර වෙනුවෙන් හොඳ අනාගතයක් ගොඩනඟා දියු යුතුයි.
ඒ වෙනුවෙන් අප පැමිණි මාර්ගයේ ඉදිරියටම ගොස් වැල් පාලම තරණය කළ යුතුයි. එතැනින් ඉවත්වීමට අපට හැකියාවක් නැහැ. ඇතැම් අය කියනවා බදු අය කිරීම නවත්වනවා කියලා. එවිට රටේ ආදායම අඩු වෙනවා. ඔවුන් ඒ කියන්නේ වැල්පාලම කපා දමනවා කියලයි. වැල් පාලම කැපුවොත් අප රටම ගඟට වැටෙනවා. ඒ නිසා වැල් පාලමේ ඉදිරියට යනවද, වැල් පාලම කපනවද කියා තීරණය කළ යුතුයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බදු ආදායම අඩු කළහොත් රටේ ආදායමට රුපියල් බිලියන 200කට වැඩි මුදලක් අහිමි වෙනවා. මෙම වියදම් පියවා ගන්නේ කොහොමද, එසේනම් ඔවුන් වැල් පාලම කපා දමනවාද කිව යුතුයි. එක පැත්තකින් රජයේ ආදායම් අඩු කර ගන්නා විට අනිත් පැත්තෙන් බඩු මිලද අඩු කරන බව පවසනවා. ආදායම් අඩු කර වියදම් වැඩි කළ නොහැකිය කියන ගණිතය ඔවුන් දන්නේ නැතිව ඔවුන් කටයුතු කරන්නේ වැල් පාලම එක පැත්තකින් නොවෙයි දෙපැත්තෙන්ම කපා දැමීමටයි. ඔවුන් ජනතාව නොමඟ යවමින් සිටිනවා.
මම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියෙව්වා. සියලු දෙනා මෙය කියවිය යුතුයි. එය කියවීමට අඩුම තරමින් මාස 02, 03ක් වත් යනවා. ඒ අතර සැප්තැම්බර් 21 වනදා ඔබ ඡන්දය ප්‍රකාශ කළ යුතුව තිබෙනවා.
අපේ උත්සාහ යන්නේ වැල් පාලමේ ගමන අතහරින්නේ නැතිව ඉදිරියට යාමටයි. අපි ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දිය යුතුයි. අපනයන ආර්ථිකයක් පමණක් නොව ආර්ථික සංවර්ධනය සමඟ ශක්තිමත් වූ පසු අපට බඩු මිල අඩු කිරීමට හැකියාව ලැබෙනවා. ඉන් පසුව ක්‍රමානුකූලව බදු අඩු කළ හැකියි. එසේ පැවසීම මට දේශපාලන වශයෙන් අවාසි වුණත් මෙම සත්‍ය ජනතාව දැන සිටිය යුතුයි.
මෙම ආර්ථිකය ඇති කිරීමට අවශ්‍ය නීති අප මේ වන විටත් සම්මත කරගෙන තිබෙනවා. දැන් තිබෙන්නේ ඒවා ක්‍රියාත්මක කිරීමට පමණයි. නමුත් අනෙක් පාර්ශ්වයන්ට මෙවන් වැඩපිළිවෙළක් නැහැ. අද සමගි ජන බලවේගය තවමත් ඔවුන්ගේ ප්‍රතිපත්තිය දන්නේ නැහැ. එක පැත්තකින් හර්ෂ ද සිල්වා ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා අනිත් පැත්තෙන් නාලක ගොඩහේවා තව එකක් කියනවා. එම පක්ෂය තුළ කඹ ඇදිල්ලක් පමණයි තිබෙන්නේ.
අලුත් ලංකාවක් වෙනුවෙන් අපගේ සැලැස්ම සහ දැක්ම මෙම බ්‍රහස්පතින්දා මම රටට ඉදිරිපත් කරනවා. සියලු ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් උදා කර දී තරුණ තරුණියන්ට හොද අනාගතයක් නිර්මාණය කර දීමේ වැඩපිළිවෙළ එහි ඇතුළත් වෙනවා. අප සියලුදෙනා එකතුවෙලා ඉදිරියට යමු.
අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල, පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක යන මහත්වරුද අදහස් දැක්වූහ.
ජයසිරි මුණසිංහ මාවනැල්ල සිට…