කෑගල්ල, මහනගර සභා ආදාහනාගාර භූමියේ ඉවුරක් සුද්ධ පවිත්‍ර කරමින් සිටි කම්කරුවකුට ඊයේ (26) විදේශ රටක නිෂ්පාදිත එස්.එෆ්.ජී. 87 වර්ගයේ අත්බෝම්බයක් හමු වී ඇතැයි කෑගල්ල පොලිසිය පැවසීය.
පොලිසිය කියා සිටියේ, කෑගල්ල මහනගර සභා ආදාහනාගාර භූමිය කෑගල්ල විකල්ප මාර්ගය ආසන්නයේ පිහිටා ඇති බවත්, එම භූමියේ දිනපතා සේවයට කම්කරුවන් දෙදෙනකු කෑගල්ල මහනගර සභාව මඟින් යොදවනු ලැබ ඇති බවත්ය. මෙසේ ඊයේ (26) එම කම්කරුවන් දෙදෙනාගෙන් එක් කම්කරුවකු විකල්ප මාර්ගයේ සිට ආදාහනාගාරයට ඇති මාර්ගයේ පසෙක කැලෑවෙන් වැසී තිබූ ඉවුරක් සුද්ධ පවිත්‍ර කිරීමට පැමිණ ඇති අතර, ඉවුර සුද්ධ පවිත්‍ර කර පහළට එන අවස්ථාවේදී අත තිබුණු විසි කැත්ත ඉවුරේ සඟවා තිබුණු අත්බෝම්බයේ වැදී තිබිණ. පසුව ඔහු වහාම මේ සම්බන්ධයෙන් කෑගල්ල මහනගර සභාව දැනුම්වත් කිරීමෙන් අනතුරුව කෑගල්ල මූලස්ථාන පොලිසිය ද දැනුම්වත් කර තිබිණ.
කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මහතා ඇතුළු කණ්ඩායමක් අත්බෝම්බය හමු වූ කනත්තට ගොස් මූලික විමර්ශන කටයුතු ආරම්භ කළ අතර, අත්බෝම්බය සම්බන්ධයෙන් කෑගල්ල අධිකරණයට කරුණු වාර්තා කර පොලිස් විශේෂ කාර්ය බළකායට භාර දීමට නියෝගයක් ලබා ගැනීමට නියමිතව තිබුණි. එම බෝම්බය ඉටි බෑගයක බහා ඉවුරේ රඳවා තිබූ බවත්, බෑගය දිරාපත්ව ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.
කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර රණසිංහ, උප පොලිස් පරීක්ෂක ලාල් ප්‍රියන්ත, පොලිස් සැරයන් සම්පත් (64324), පොලිස් කොස්තාපල්වරුන් වන කළුගල්ල (61999), බණ්ඩාර (77178), නිමන්ත (85049), කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිවංක දෙහිමඩුගේ මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් ස්ථානීය පරීක්ෂණය සිදු කර තිබේ.
කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්