Tuesday, April 22, 2025
Home » ගොවීන්ට පාසල් ප්‍රවාහන සේවයට QR කේතය කේන්ද්‍ර කරගෙන ඉන්ධන සහනාධාරයක්

ගොවීන්ට පාසල් ප්‍රවාහන සේවයට QR කේතය කේන්ද්‍ර කරගෙන ඉන්ධන සහනාධාරයක්

-සජිත් ප්‍රේමදාස හිඟුරක්ගොඩ දී කියයි

by sachintha
August 27, 2024 2:54 am 0 comment

ගොවීන්ට, ධීවරයන්ට, ත්‍රිරෝද රථ රියැදුරන්ට, පාසල් ප්‍රවාහන සේවාවට හා වී මෝල් හිමියන්ට QR කේතය පදනම් කරගෙන ඉන්ධන සහනාධාරයක් දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ දාහතර වැනි විජයග්‍රාහී ජන රැලිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව හිඟුරක්ගොඩ නගරයේ දී පෙරේදා (25) පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් විපක්ෂ නායකවරයා මෙසේද කීවේය.

ගොවියාට අවශ්‍ය වන ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර කි.ග්‍රෑම් 50 මිටිය රුපියල් 5000කට ලබා දෙන්න කටයුතු කරනවා. කෘෂි රසායන තෙල් පොහොර මිල නියාමනයකට ලක් කර කළුකඩ වෙළෙඳුන්ගෙන් මේ මිල වැඩිවීමේ ක්‍රමවේදය මුදාගැනීමටත් පියවර ගන්නවා. දරාගත හැකි මිලකට කෘෂි රසායන ගොවීන්ට ලබාදෙනවා. පොහොර බෙදා දීමේ දී ගොවිජන සේවා මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගෙන විනිවිදභාවයෙන් යුක්තව මේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

QR Code කේන්ද්‍ර කරගෙන ගොවියාට, ධීවරයාට, ත්‍රිරෝද රථ රියැදුරන්ට, පාසල් ප්‍රවාහන සේවාවලට සහ වී මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාරයක් දෙනවා. පාස්කු දින ප්‍රහාරය, කොරෝනා ව්‍යසනය, කාබනික පොහොර වංචාව, නැනෝ පොහොර වංචාව නිසා ගොවි ජනතාව විපතට පත්ව සිටිනවා. තමන්ගේ සීමාසහිත මුදල් උපයෝගි කරගෙන කනකර උකස් කර ගොවිතැනේ නියැළෙන ජනතාවට පසුගිය කාලයේ පහර පිට පහර එල්ල වී අසීමිත පීඩනයක් පැටවුණා. මේ පීඩනයෙන් අසහනයට ලක්ව වේල් තුන දෙන්න බැරි වූ මේ ජනතාව වෙනුවෙන් වගා ණය කපා හරිනවා.

එමෙන්ම ගොවියාගේ නිෂ්පාදනයට සාධාරණ සහතික මිලක් ලබා දෙනවා. වංචනික ලෙස ගොවියාටත් පාරිභෝගිකයාටත් අසාධාරණයක් සිදු කරන වංචාවන්ට ඉඩ නොදී පාරිභෝගිකයාට සාධාරණ මිලක් මෙන්ම වී ගොවියාට ඉහළ සහතික මිලක් ලබා දෙනවා.

ඇප නැතිව රාජ්‍ය බැංකුවලින් කෝටි ප්‍රකෝටි ගණන් ණය ලබා ගත් සමහර ධනවතුන් බලයේ සිටින අය සමඟ ගජමිතුරු සම්බන්ධතා ඇති නිසා එම ණය කපා හැරියත් ගොවියාගේ ණය කපා හරින්න රජයට නොහැකි වී තිබෙනවා. සමගි ජන බලවේග රජයකින් රටට බත සපයන ගොවි ජනතාවට කෘතගුණ සලකනු වස් මේ ණය කපා හරිනවා. ගොවියා රකින පොඩි මිනිසාගේ ජනාධිපතිවරයා ලෙස එම යුතුකම ඉටු කරනවා. රටට බත සපයන ගොවියා වෙනුවෙන් කැප වෙනවා.

දිස්ත්‍රික් ගණනාවක පාරම්පරික ගොවිබිම් අහිමි වූ බවත් මායිම්ගල් දමා දශක ගණනාවක් වගා කටයුතු කළ ඉඩම් අහිමි වුවත් ඒවා නැවත ලබා දෙනවා. මේ රටේ පරිසර සම්පත වනජීවී සම්පත වෙනුවෙන් ද ඉහළ ප්‍රමුඛස්ථානයක් ලබා දෙනවා. ප්‍රජා කේන්ද්‍රීය ජනතා කේන්ද්‍රීය වනජීවී සම්පතක් කරා යොමු වෙනවා. ගොවිබිම් ආරක්ෂා කරමින් වගා හානියට වගා පාළුවට විධිමත් රක්ෂණ ක්‍රමයක් ඇති කර වනඅලි මිනිස් ගැටුම අවම කරනවා.

රටේ මේ වන විට ඉන්නේ වැඩ බැරි නායකයෝ සහ කයිය නායකයෝ වුවත් සමගි ජන බලවේගය 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ සක්වල හා හුස්ම වැඩසටහන් හරහා රුපියල් බිලියනයක වැඩ කර නව ජන වරමක් වෙනුවෙන් පැමිණ ඉන්නවා. කයිය නායකයෝ රට වටේ කයිය ගගහ ගියාට තමා වැඩ කරමින් යනවා. රටේ ප්‍රශ්න කයිවාරුවෙන් විසඳිය නොහැකි බවද හෙතෙම කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා –

මාස තුන හතරකට කලින් කීරි සම්බා තිබුණේ 140ත් 150ත් අතර මිලකට. නමුත් අද වනවිට කීරි සම්බා 100ටවත් විකුණන්න බෑ. ගොවින්ට කීරි සම්බා වගා කරන්න කියා පොලොන්නරුවේ වී මෝල් හිමියන් ප්‍රකාශ කළා. ඒ අනුව අහිංසක ගොවීන් කීරි සම්බා වගා කර දැන් අන්ත අරසණ තත්ත්වයට පත් වෙලා සිටිනවා. ඒ වගේම ගොවීන් අස්වැන්න නෙළා ගත් පසුව සියලුම කෘෂිකර්මාන්තයට අයත් භාණ්ඩ උකස් කරනවා. ඒ වගේම ගොවීන් භාවිත කරන උදලු තලයට පවා බදු ගහන්න ආණ්ඩුව කටයුතු කළා. සාමාන්‍ය ගොවීයා සහ කුඩා පරිමාණ වී මෝල් හිමියන් නැත්තටම නැති කර විශාල වී මෝල් හිමියන් කිහිපදෙනෙකුගේ අයිතියට සහල් කර්මාන්තය භාර දෙන්න තමයි රජය කටයුතු කරන්නේ. ඒ වගේම රටේ සහල් මිල තීරණය කරන්නේ කිහිපදෙනෙක්. මොන සහල් ද වගා කළ යුත්තේ කියා තීරණය කරන්නෙත් කිහිපදෙනෙක්. ජනතාව සහල් ලබාගන්න මිල තීරණය කරන්නෙත් කිහිපදෙනෙක්. ආණ්ඩුවට ගොවීන් සම්පූර්ණයෙන් අමතක වෙලා තිබෙනවා.

වී මිල අඩුවුණ ගමන් ජනතා විමුක්ති පෙරමුණේ පිරිස උද්ඝෝෂණය කරනවා. නමුත් අද ඔවුන්ගේ ඒ උද්ඝෝෂණ දකින්න ලැබෙන්නේ නෑ. අද වී මිල පහළ බැහැලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ එක නායකයෙක් ගොවීන් වෙනුවෙන් කතා කළේ නෑ.

තිස්ස අත්තනායක මහතා-

‘‘පොලොන්නරුවේ බහුතරයක් ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. ගොවීන්ගේ නිෂ්පාදනවලට අද නිසි සහතික මිලක් ලැබෙන්නේ නෑ. අද වනවිට ගොවියන් දැඩි අසරණ තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ගෝඨාභය පන්නා දමන අරගලයට මුල් අඩිතාලම දැම්මේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව.

පොලොන්නරුවේ ගොවි ජනතාව පොහොර ඉල්ලලා, බෝභවලට නිසි මිලක් ඉල්ලලා පාරට බැහැලා කළ අරගලයෙන් තමයි ගෝඨාභය ගෙදර යවන අරගලයට පාර කැපුණේ. ගොවින්ගේ ඉල්ලීම්වලට සාධාරණ පිළිතුරක් දෙන්න ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නෑ. ගොවි ජනතාව ආරම්භ කළ අරගලයට රටේ සෙසු ජනතාවත් සම්බන්ධ වෙලා ගෝඨාභය පන්නා දමන සටන ආරම්භ කළා. ඒ සටන ජය ගන්න හැකියාව ලැබුණා.

වසර 76ක් රට පාලනය කළ පාලකයෝ රට විනාශ කළා කියා ජනතා විමුක්ති පෙරමුණ කියනවා.

ඩී.එස්. සේනානායක මහතාගේ සිට හිටපු නායකයන් රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපාර ඇති කළා. මහවැලි ව්‍යාපාරය, උල්හිටිය, රන්දෙණිගල, රන්ටැඹේ වැනි දෑවැන්ත ව්‍යාපාර ඔවුන් රටේ නිර්මාණය කළා යැයි ද පැව­ැසීය.

රක්ෂණ ශ්‍රියන්ත, එච්.එල්. ද සොයිසා – ලංකාපුර සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT