Home » මාලිමාව නන්දා මාලිනී විකුණන් කන්න හදනවා

මාලිමාව නන්දා මාලිනී විකුණන් කන්න හදනවා

by sachintha
August 27, 2024 3:12 am 0 comment

නන්දා මාලිනියට මුවාවී තම වැරදි වසා ගැනීමට ක්‍රියා නොකරන්නැයි ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවැසීය.

සමගි ජන සන්ධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඊයේ (26) මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති කියනවා කළු සල්ලි සුදු කරලා රටේ ආර්ථිකය ගොඩගන්නවා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත කියනවා පයෝධර පෙළපාළි පවත්වලා සංචාරක කර්මාන්තය දියුණු කරනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක කියනවා ඇප නැතුව ණය දෙන බැංකුවක් හදනවා කියලා. මේ වගේ අමනෝඥ කතා තමයි ජනතා විමුක්ති පෙරමුණ දැන් ප්‍රකාශ කරන්නේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් කියනවා 76 වසරක රාජ්‍ය පාලනය තුළ රටට කිසිම දෙයක් සිදුවුණේ නෑ කියලා. 76 වසර තුළ බිහිවුණ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති වුණේ අනුර දිසානායක, ග්‍රාමිය ආර්ථික ඇමැති ලාල්කාන්ත, සංස්කෘතික ඇමැති විජිත හේරත්, චන්ද්‍රෙස්න විජේසිංහ ධීවර ඇමැති. නමුත් අවසානයේ රටේ කෘෂිකර්මාන්තයට, රටේ ජනතාවට කිසිවක් ඔවුන් සිදු කළෙත් නෑ. අවසානයේ වසර එකහමාරකින් ඔවුන් ඇමැති ධුර දාලා පැනලා ගියා.

ඒ වගේම එදා විමල් වීරවංශ සහ රාජපක්ෂලා දේශප්‍රේමී සළු ඇතුළේ හැංගුණා. අද නන්දා මාලනියට මුවාවෙලා ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්‍ගේ වැරදි වහගන්න උත්සාහ කරනවා. ජනතා විමුක්ති පෙරමුණ නන්දා මාලිනිය විකුණාගෙන කන්න උත්සාහ කරනවා. නන්දා මාලිනියට අගෞරව කරන්න එපා කියලා ජනතා විමුක්ති පෙරමුණෙන් මම ඉල්ලා සිටිනවා.

ඒ වගේම ගෝල්ෆේස් අරගලයේ දී නිල නොවන ලෙස ජනතා විමුක්ති පෙරමුණට පැය 5 කට රටේ බලය ලැබුණා. ඒ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුව විනාශ කරන්න උත්සාහ කළා. ඔවුන් නිසා ලංකාවේ නිවාස 300කට වැඩි ප්‍රමාණයක් විනාශ වුණා, පොලිස් නිලධාරියෙක් ඝානතය වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඝාතනය වුණා. පැය 5 කට බලය ලැබිලා මෙතරම් විනාශයක් ජනතා විමුක්ති පෙරමුණ සිදු කළා නම් අවුරුදු 5 කට බලය ලැබුණොත් මොන වගේ තත්ත්වයක් උදාවෙයිද?

ඒ වගේම සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අගෝස්තු මාසයේ 29 වැනිදා එළිදක්වන්න කටයුතු කරනවා. ලංකාවේ දේශපාලන පක්ෂ ඉදිරිපත් කරපු බොහෝ ප්‍රතිපත්ති ප්‍රකාශන මහපොළොවේ යථාර්ථයක් වුණේ නෑ. ඒ නිසා තමයි සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය වසර දෙකකට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. ඒ වගේම සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය දෙවතාවක් යාවත්කාලීන කළා. තුන්වැනි වතාවටත් යාවත්කාලීන කරලා තමයි අගෝස්තු 29 වැනිදා එළිදක්වන්නේ යැයි ද කීවේය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT