මෙරට ගොඩනැඟීම සඳහා පළමුවෙන්ම ශක්තිමත් විදෙස් ප්‍රතිපත්තියක්, යහපත් ආණ්ඩුකරණයක්, ජාතික සමගිය, නීතියේ විධානයේ ආදිපත්‍යයට යටත් වූ රාජ්‍යයක්, වංචා දූෂණ, නාස්තියෙන් තොර පාලනයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ, ‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’ මැයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ අවස්ථාවට ඊයේ(26) දින සහභාගි වෙමිනි. මෙම උත්සවය ශ්‍රී ජයවර්ධනපුර, මොනාර්ක් ඉම්පීරියල්හි දී පැවැත්විණ. එහි මුල් පිටපත් මෙහි දී අනුර කුමාර දිසානායක මහතා විසින් මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂයට පිරිනමන ලදී. පරිසමාප්ත ජීවිතයක් – සුවපහසු රටක්, ගෞරවනීය ජීවිතයක් – සුරක්ෂිත රටක්, නවීන ජීවිතයක්- පොහොසත් රටක්, අභිමානවත් ජීවිතයක් – නොසැලෙන රටක් ආදී වශයෙන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය පෙළ ගස්වා තිබේ. මෙය පිටු 231කින් සමන්විතය. මෙහි දී ජාතික ජන බලවේගලයේ තේමා ගීතය එළි දැක්වීම සිදු කෙරිණ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායකයා –
අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස සැලසුම් සහගතව ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කරමින් සිටියා. කඩා වැටී තිබෙන රට ගොඩනැඟීම සඳහා අවශ්‍ය වන බලවේගයක් ගොඩනැඟීම සඳහා මේ රටේ විවිධ ක්ෂේත්‍ර සම්බන්ධව කටයුතු කරන පිරිස් සංවිධානය කරමින් ඒ අය බලමුළු ගන්වමින් අප ඉදිරියට පැමිණියා. අපේ රටට ඇතිවී තිබෙන විපත පිළිබඳ සහ එයට හේතු පිළිබඳ සහ එයින් ගොඩ යන්නේ කෙසේද යන්න පිළිබඳ දීර්ඝ කාලයක් මේ රටේ පොදු ජනතාවත් සමඟ සාකච්ඡා කළා. මේ සියල්ල පිළිබඳ සලකා බලමින් විධිමත් වැඩපිළිවෙළක් රට හමුවේ තැබීම අප මේ අවස්ථාවේ සිදු කරනවා. අපට ශක්තිමත් මතවාදයක් තිබෙනවා. ශක්තිමත් බලවේගයක් තිබෙනවා. එයට නායකත්වය දිය හැකි නායක මණ්ඩලයන් තිබෙනවා. ඒ වගේම අපේ රට ගොඩනැඟිය හැකි මාවත තිබෙනවා. ඒ නිසා සැප්තැම්බර් 21 උදාවන මේක තමයි අපේ රටේ ජයග්‍රහණයේ මාවත. මෙම වැඩපිළිවෙළ සකස් කර ගැනීම සඳහා අවුරුදු දෙකකට ආසන්න කාලයක් ක්ෂේත්‍ර 39ක් කේන්ද්‍ර කරගෙන සාකච්ඡාවන් පැවැත්වූවා. මේ සඳහා බොහෝ අය තමන්ගෙ කාලය දැනුම නිර්ලෝභීව ලබා දුන්නා. ඒ සියලු දෙනාට ස්තුතියි. පොහොසත් රටත් සහ ලස්සන ජීවිතයක් නමින් ක්ෂේත්‍ර ගණනාවක ශක්තිමත් වැඩපිළිවෙළක් ජනතාවට අප අද ඉදිරිපත් කරනවා.
පසුගිය කාලයේ අපේ වැඩපිළිවෙළ ගැන කතා කළේ වෙනත් අය. අප ඒ සම්බන්ධව අනවශ්‍ය ගැටුමකට අප යන්නෙ නැහැ. හැබැයි මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් අපට නඟන විවිධ අවලාද, අසත්‍යවලට ශක්තිමත් පිළිතුරක් ලබා දී තිබෙනවා. අපේ රට පද්ධතියක් ලෙස කඩා වැටී තිබෙනවා. අපට හමුවන ඕනෑම පුද්ගලයෙකුට ඔවුන් කටයුතු කරන ක්ෂේත්‍රය පිළිබඳ ඛේදනීය කතාවක් කියන්න තිබෙනවා. අපට කවර හෝ ක්ෂේත්‍රයක් පිළිබඳ සුබදායී හැඟීමක් අද ඉතුරු වී නැහැ. අපේ රටේ සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් පිළිගැනීමට භාජනය වන නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් අප ස්ථාපිත කරනවා. ප්‍රායෝගිකව දෙමළ භාෂාව කතා කරන, සිංහල භාෂාව කතා කරන පුරවැසියන්ට තමන්ගේ භාෂාවෙන් තමන්ගේ රාජ්‍යයත් එක්ක ගනුදෙනු කරන්න තියෙන අයිතිය ප්‍රායෝගිකව අප ස්ථාපිත කරනවා. භාෂාවේ අයිතිය වගන්ති තුළ පමණක් නොවේ. භාෂාවේ අයිතිය යථාර්ථවාදීව ස්ථාපිත කිරීම සඳහා අප අපේ වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා. සියලුම ආගම්වල නිදහස, ආගම් ඇදහීමේ අයිතිය, ඔවුන්ට අනන්‍ය වූ සංස්කෘතීන්වලට ගරු කිරීම ඉදිරියට ගෙන යාමෙන්, අපේ රටේ දිගු කාලයක් අසමත් වී තිබෙන ජාතික සමගිය නිර්මාණය කිරීමේ මහා ප්‍රයත්නයට ජාතික ජන බලවේගය අත තියෙනවා. යහපත් ආණ්ඩුකරණයක් අපට අවශ්‍යයි.අපට කිසිම පෞද්ගලික දේශපාලන වුවමනාවක් නැහැ මේ රාජ්‍ය සේවය හසුරුවන්න. යහපත් ආණ්ඩුකරණයක් සඳහා අවශ්‍ය වන ජනාධිපතිවරයාගේ බලතල සීමා කරන්නත්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ අහෝසි කරන්නත් බැඳී සිටිනවා. මෙම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරය අප අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර තිබෙනවා. අමාත්‍ය ධුර එක එක්කෙනාගේ සිතැඟි අනුව පත්කර කරන කැබිනට් ඉතිහාසයක් අපට තිබෙනවා. අපගේ පාලනයක් යටතේ උපරිම අමාත්‍යාංශ 25යි. අමාත්‍ය ධුර 25යි. රාජ්‍ය අමාත්‍ය ධුර කියන පිස්සුව නැවැත්විය යුතුයි. අපගේ පාලනයක් යටතේ රාජ්‍ය ඇමැති ධුර නැත. ශක්තිමත්, ස්ථිරසාර විදෙස් ප්‍රතිපත්තියක් අපට අවශ්‍යයි. අපේ කලාපීය ආරක්ෂාවට, කලාපීය රාජ්‍යයන්ට තර්ජනයක් වන ආකාරයට ලංකාවේ ගොඩබිම, මුහුද, ගුවන උපයෝගී කර ගන්න ජාතික ජන බලවේගයේ පාලනයක් ඉඩ දෙන්නෙ නැහැ. ගනුදෙනුවලදී එය අපේ රටට කොතරම් වාසිද, අවාසිද කියා බලනවා. අනාගතයේ සිදුවන දේ වැළැක්වීම සඳහා පමණක් නොවේ අතීතයේ සිදුවූ දේටද දඬුවම් ලබාදීම හා පවරා ගැනීම සිදුකරනවා යැයි කීවේය.
මෙහිදී විද්වතුන් රැසක් අදහස් දැක්වූහ.
මෙම අවස්ථාව සඳහා සහභාගි වූ පිරිස නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහත්වරුන් ඇතුළු විද්වතුන්, සාහිත්‍යවේදීන්, ව්‍යාපාරිකයින්, ක්‍රීඩකයින් රැසක් මෙම උත්සවය ආරම්භ කිරීම සඳහා ඩිජිටල් පහන් වැටි දැල්වූහ. මෙම අවස්ථාව සඳහා විශාල පිරිසක් සහභාගි වූහ.
උපාලි කරුණාරත්න
ඡායාරූපය – තිලක් පෙරේරා