කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉන්දු – ලංකා යුද හමුදා අතර පවත්වනු ලබු ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුද අභ්‍යාසය සාර්ථකව නිම කළ ඉන්දීය භට පිරිස පෙරේදා (25) දින දිවයිනෙන් පිටත්ව ගියහ.
මේ මස 12 වන දින දිවයිනට පැමිණි ඉන්දීය භට පිරිස පුරා දින 12ක් මාදුරු ඔය ප්‍රදේශයේදී මෙම යුද අභ්‍යාසය සඳහා එක්වූ අතර එහිදී ශ්‍රි ලංකා යුද හමුදාවේ භට පිරිස් සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයන්හි නිරත වූහ.
මෙහිදී ප්‍රතිත්‍රස්ත යුද උපක්‍රම, එහි න්‍යායාත්මක දේශන හා ප්‍රායෝගික යුද අභ්‍යාසයන්හි නිරත වීමට දෙරටේ භට පිරිස් සඳහා අවස්ථාව උදාවිය. නවීන යුද උපායයන්, තාක්ෂණය හා එය භාවිතය පිළිබඳ අත්දැකීම් දෙරටේ භට පිරිස් අතර හුවමාරු කර ගැනීම සිදුකළ අතර, භට පිරිස් අතර දෙරට පිළිබඳ දැනුම හා සහයෝගිතාව වර්ධනය සඳහා සංස්කෘතික හා ක්‍රීඩා වැඩසටහන් ද සංවිධානය කර තිබුණි.
මෙම පුහුණුව අතරතුර ඉන්දීය යුද හමුදා භටයෝ කවුඩුල්ල ජාතික උද්‍යානය නැරඹිමට ද එක්වූහ.
දිවයිනෙන් පිටත්ව ගිය භට පිරිස ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මෙරටින් පිටත් වූ අතර එම අවස්ථාව සඳහා යුද හමුදාවේ අධ්යක්ෂ ජනරාල් පාබල හමුදා මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර, මෙම අභ්‍යාසයේ අධ්යක්ෂ හා 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දිනේෂ් උඩුගම ඇතුළු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.
වසන්ත චන්ද්‍රපාල
හිදෝගම සමූහ – චිත්‍රාරත්න කළුආරච්චි