Monday, April 21, 2025
Home » අපට අවශ්‍ය කරන්නේ ශක්තිමත් විධායකයක්

අපට අවශ්‍ය කරන්නේ ශක්තිමත් විධායකයක්

-ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියන්ත මුදලිගේ

by sachintha
August 27, 2024 3:22 am 0 comment

2024 ජනාධිපතිවරණ ප්‍රචාරණ යන්ත්‍රණය දැන් අරඹා ඇත. තරගකරුවන් විවිධ යෝජනා හා අපේක්ෂා ජනතාවට මුදාහරිති. ස්වාධීන අපේක්ෂකයෝ මෙන්ම පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයෝ ද මැතිවරණ සටනට යුහුසුලු වෙති. එහිදී මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල දී ඇතමුන් සුපුරුදු පරිද්දෙන් විවිධ පොරොන්දු ජනතාවට

ඉදිරිපත් කරති. ඒ අතරින් විධායක ජනාපති ධුරය අහෝසි කිරීමටද යෝජනා කරති. අද අපේ මේ කතාබහ කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියන්ත මුදලිගේ සමඟිනි.

නොදියුණු දේශපාලන සංස්කෘතිය තුළ කුමන ආණ්ඩු ක්‍රමයක් වුණත් ක්‍රියාවට නැංවීම ලේසි නෑ

මැතිවරණ වේදිකාවේ අලෙවි කළ හැකි යෝජනා ඇතමුන් පවසනවා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශාල දුර්වලතා ගණනාවක් පවතිනවා

විධායකය නම් වන ආකර්ෂණීය මාතෘකාව යළිත් කරළියේ දිග හැරී තියෙනවා. විධායකය සම්බන්ධයෙන් ඔබගේ විග්‍රහය කුමක්ද ?

බලතල පංගු කිරීමේ න්‍යායට අනුව ආණ්ඩුවක නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශය විධායකය වශයෙන් හඳුන්වා දී තිබෙනවා. ආණ්ඩුව යන්ත්‍රයක් නම් එහි එන්ජින් කාමරය විධායකය ලෙසයි සාමාන්‍යයෙන් සලකන්නේ. පරිපාලනයේ ඉහළින්ම සිටින ජනාධිපතිවරු, අගමැතිවරු, අමාත්‍යවරු හෝ කැබිනට් මණ්ඩලවලින් එය සමන්විත වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටියට අනුව දේශපාලන විධායකය ප්‍රධාන වර්ග තුනකින් සමන්විත වෙනවා. එනම්, ජනාධිපති ආණ්ඩු ක්‍රමයකට අදාළව අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති විධායකය (Presidential executive), පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට අදාළව බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු විධායකය (Parliamentary Executive ) සහ අර්ධ ජනාධිපති (Semi Presidential) ආණ්ඩු ක්‍රමයකට අදාළව ප්‍රංශය සහ ශ්‍රී ලංකාව ද්විත්ව විධායකය (Dual Executive) වශයෙන් මෙම විධායක ආකාර තුනම තෝරා ගැනීම සිදු කරන්නේ සෘජු සහ වක්‍ර ආකාරයෙන් වන ජනතාවගේ ඡන්ද බලයෙන්. සාමාන්‍යයෙන් ජනාධිපති සහ අර්ධ ජනාධිපති පාලන තන්ත්‍රයන් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතන අතර සංවරණය හා තුලනය (Checks and Balances) පිළිබඳ මූලධර්ම ක්‍රියාවට නැංවීමට ඉඩ සලසා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන යෝජනාවක් ඇතමුන් මෙවරත් වේදිකාවේ ඉදිරිපත් කරනවා. මේ ගැන මොකද සිතෙන්නේ ?

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරය 1978 හඳුන්වා දුන් අවස්ථාවේ සිටම විවේචන තිබෙනවා. නමුත් 1994 සිට මේ දක්වා පැවැති ජනාධිපතිවරණවලදී ඉදිරිපත් වූ බොහොමයක් දේශපාලන පක්ෂවල ප්‍රධාන පොරොන්දුවක් වූයේ තමන්ට බලය ලබා දුන්නොත් මෙම ධුරය අහෝසි කරන බවයි. එහෙත් බලය ලබාගත් පසු ඒ පොරොන්දු ඉටු කිරීමට ඔවුන් ක්‍රියා කළේ නැහැ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශාල දුර්වලතා ගණනාවක් පවතිනවා. ඒ නිසා විධායක ජනාධිපති ධුරය ගැන පමණක් අවධානය යොමු කොට එය අහෝසි කිරීම සියලු ප්‍රශ්නවලට විසඳුමක් නොවෙයි. එසේම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය අනුව එය සිදු කිරීම පහසු නැහැ. මන්දයත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා බලයේ සිටින ජනාධිපතිවරයා සහ බලයේ සිටින පාර්ලිමේන්තුව ඒකායන අරමුණකින් එය කිරීම යම් ආකාරයක සම්මුතියකට යා යුතු වෙනවා. කෙසේ නමුත් යෝජනාවක් හැටියට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හොඳ ප්‍රජාතන්ත්‍රවාදී අදහසක් බව පේනවා. ඒ නිසා බොහොමයක් දේශපාලන පක්ෂ මැතිවරණ කාලවලදී මෙම යෝජනාව ඉදිරිපත් කරනවා. මොකද එය මැතිවරණ වේදිකාවේ අලෙවි කළ හැකි සහ රසවිඳිය හැකි යෝජනාවක් වන නිසා.

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා සතු බලතල සම්බන්ධයෙන් මේ තරම් විවේචන ඉදිරිපත් වන්නේ ඇයි ?

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කර ඇත්තේ බ්‍රිතාන්‍ය සහ අමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම මූලධර්ම මිශ්‍ර කර නිර්මාණය කළ 1958 දී ප්‍රංශයේ චාර්ල්ස් ඩි-ගෝල් (Charles de Gaulle) විසින් නිර්මාණය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ධ ජනාධිපති ක්‍රමයේ ආභාසය ලබාගෙනයි. 1978 ව්‍යවස්ථාව සැකසීමේ දී‍ අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රමයේ ජනාධිපතිවරයාගේ බලතල ශක්තිමත් කිරීම සඳහා යොදා තිබෙන සෑම විධිවිධානයක්ම යොදාගෙන ඇති බව පෙනෙනවා. අනෙක් අතට මෙරට ජනාධිපතිවරයාගේ බලතල සංවරණය සහ තුලනය කිරීම සඳහා අවශ්‍ය නෛතික විධිවිධාන කිසිවක් අමෙරිකාවේ මෙන් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර නැහැ. ඒ වගේමයි බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමයේ පාර්ලිමේන්තුව පාලනය කිරීමට විධායකයට ලබා දී ඇති බලතල සියල්ලක්ම පාහේ 1978 ආණ්ඩු ක්‍රමය තුළ ජනාධිපතිවරයාට ලබා දී තිබුණත්, විධායකය පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ලබා දී ඇති බලතල කිසිවක් ලබා දී නොමැති නිසා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව අනුවත්, ඉන් පිටතත් බලවත් ජනාධිපතිවරයෙක් බවට පත්ව තිබෙනවා. 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ විධායක බලය පාලනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් හඳුන්වා දී ඇතත් එහි ද තාක්ෂණික දෝෂ ගණනාවක් පවති.

ශ්‍රී ලංකාවට වඩාත් උචිත වන්නේ කුමන ආකාරයේ ආණ්ඩු ක්‍රමයක්ද ?

ඇත්තටම ආණ්ඩු ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී ද නැද්ද යන්න තීරණය වන්නේ දේශපාලන ක්‍රමය පදනම් වූ සංස්කෘතිය මත බවයි මගේ හැඟීම. උදාහරණයක් වශයෙන් ගතහොත් අ‍ෙමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාට ඉතා විශාල බලතල ප්‍රමාණයක් හිමි කර දී තිබෙන බව පෙනෙනවා. නමුත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර දෙයක් ජනාධිපතිවරයාගෙන් සිදු වන්නේ නැහැ. කැබිනට් ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍යයේ මෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ ද ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් ආරක්ෂා වෙනවා. විශේෂයෙන් අමෙරිකානුවන්ගේ අයිතිවාසිකම් හොඳින් ආරක්ෂා වන අතරම එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කළ පළමු සංශෝධන දහයම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා හඳුන්වා දීමෙන් පෙනී යන්නේ එරට දේශපාලන සංස්කෘතියේ දියුණුවයි. ශ්‍රී ලංකාවේ මේ වන විට 1978 ව්‍යවස්ථාවට හඳුන්වා දී තිබෙන සංශෝධන 21න් වැඩි සංඛ්‍යාවක් බලයේ සිටි ජනාධිපතිවරුන්ගේ බලය වැඩිකර ගැනීමට ගෙනා ඒවා බව පැහැදිලියි. අනෙක් අතට අමෙරිකා එක්සත් ජනපදයේ සිවිල් සමාජය ද ඉතා බලවත් සහ දියුණු තත්ත්වයක සිටිනවා. එම නිසා එරට සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් ආරක්ෂා වන බවක් පෙනී යනවා. මෙයින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකවේ දේශපාලන සංස්කෘතිය දියුණුවට පත් නොවීමේ තත්ත්වයක් තුළ කුමන ආකරයේ ආණ්ඩු ක්‍රමයක් වුවත් ක්‍රියාවට නැංවීම අසීරු වන බවයි.

ශ්‍රී ලංකාවට ඔබින්නේ යැයි ඔබ යෝජනා කරන්නේ කුමන ආකාරයේ ජනාධිපති ධුරයක් ද?

ඇත්තටම මගේ යෝජනාව වන්නේ 1978 ව්‍යවස්ථාවෙන් කඩිමුඩියේ විධායක ජනාධිපති ධුරය ගලවා ඉවත් නොකළ යුතුයි. එසේ වුවහොත් දේශපාලන අර්බුද රැසක් ඇති වීමේ ඉඩකඩ වැඩියි. ඒ නිසා බලයට පත්වන ආණ්ඩුව වඩාත් විවෘතව සහ සද්භාවයෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කටයුතු කළ යුතු වෙනවා. එය ඉතා අසීරු කටයුත්තක් වුවත් එය කළ යුතු බව පේනවා. මොකද පවතින ව්‍යවස්ථාවට පැලැස්තර ඇලවීමක් කිරීම ගැටලු අඩුවීමට වඩා වැඩිවීමක් සිදු වෙනවා. එසේ නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමේ දී ජනාතා පරමාධිපත්‍යය, මූලික අයිතිවාසිකම්, බලතල බෙදීම, සංවරණ හා තුලන ක්‍රමය, අධිකරණ විවරණ බලය සහ බලසම්පන්න සිවිල් සමාජයක් ඇති වන ආකාරයේ මූලධර්ම ඇතුළත් කළ යුතු වෙනවා. අතීතයේ මෙන් නොව වර්තමානයේ රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු මෙන්ම බාහිර කටයුතු ද සංකීර්ණ වී තිබෙනවා. තාක්ෂණයේ ඇති වී තිබෙන විප්ලවීය දියුණුව මේ සඳහා හේතු වී තිබෙනවා. එසේම රාජ්‍ය ආරක්ෂාව ප්‍රමුඛ වීම, අන්තර් ජාතික වෙළඳාම සහ අන්තර් රාජ්‍ය සම්බන්ධතා කෙරෙහි වූ වැඩි අවධානය නිසා නූතන රාජ්‍යයන් විධායකය කෙරෙහි වැඩි ආකර්ෂණයක් දිනාගෙන තිබෙනවා. අනෙක් අතට අපිට අමතක නොකළ යුතු කාරණයක් වන්නේ තිස් අවුරුදු යුද්ධයකට අපි මුහුණ දී සිටි බව. යුද්ධයෙන් පසු රට ගොඩනැඟීම හෝ රටේ සියලු ජන කොටස් පාලන ක්‍රමයට සම්බන්ධ කරගෙන විශ්වසනීයත්වයක් සහතික වූයේ නැහැ. ඒ නිසා අපි මෙන් කුණාටු රැසකට මුහුණ දුන් දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා බලයට පත්ව 1996 දී නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට කටයුතු කළ අතර ඒ මඟින් දේදුනු ජාතියක් (Rainbow Nation) පිළිබඳව වූ සිහිනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්කිරීමට කටයුතු කළා. ඒ මඟින් අප්‍රිකානු සමාජයේ සමාජ බහුවිධතාවය ආරක්ෂා කිරීමට ඔහු සමත් වුණා. ඒ තුළින් සමස්ත පාලන ක්‍රමය ප්‍රජාතත්ත්‍රවාදයට හසු කළා. මෙය අපට උගත හැකි හොඳ පාඩමක්.

එසේ නම් ජනාධිපතිවරයා ප්‍රජාතත්ත්‍රවාදී ක්‍රියාවලියකට හසු කළ හැක්කේ කෙසේ ද?

ශ්‍රී ලංකාවට රජ කෙනෙකු අවශ්‍ය නොවන බව අපි තේරුම් ගත යුතු වෙනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ප්‍රජාතත්ත්‍රවාදයට හසු කළ ශක්තිමත් විධායකයක්. කැබිනට් ආණ්ඩු ක්‍රමය හරහා ශ්‍රී ලංකාව ලබා ඇති දේශපාලන අස්ථාවරත්වය යළි ඇති නොවීමටත් රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් රට යළි නැඟීසිටුවීමටත් ශක්තිමත් විධායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක් රටට අවශ්‍ය බව පෙනෙන්නට තිබෙනවා. එසේ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ දී රටේ ජාතික වැදගත්කමක් ඇති කරුණු ව්‍යවස්ථාව මඟින් පැහැදිලිව සඳහන් කළ යුතු වෙනවා. අනෙක් අතට අමෙරිකාවේ මෙන් ජනාධිපතිවරයාගේ විධායක පත් කිරීම්, විධායක ගිවිසුම් ඇති කර ගැනීම, යුද්ධය ප්‍රකාශ කිරීම වැනි ඒවා අනිවාර්යයෙන් සංවරණයට ලක් කළ යුතු වෙනවා.

අධිකරණ විවරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දී ව්‍යවස්ථාවේ ආරක්ෂකයා බවට අධිකරණය පත් කළ යුතු වනවා. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන විවේචනය වන්නේ විධායක ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය මිසක් විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් නොවන බව අපි අවබෝධ කර ගත යුතු වෙනවා. අවසාන වශයෙන් කිව යුතු කාරණය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාලකයන් මෙන්ම පාලිතයන් ද සිවිල් ආගමක් සේ සලකා රාජ්‍ය පාලන කටයුතු කරගෙන යෑමට එය ආරක්ෂා කිරීමටත් එය අනුගමනය කිරීමටත් වගබලා ගත යුතු වෙනවා.

රුවන් පුෂ්පකුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT