Home » පූර්ව භංග හබක්

පූර්ව භංග හබක්

by sachintha
August 27, 2024 1:11 am 0 comment

ඊශ්‍රායලය දැන් ප්‍රහාර එල්ල කරන්නේ ‘ලැබෙන ආරංචි’ අනුවය. ලෙබනනයේ සිටින හිස්බුල්ලා කණ්ඩායම තමන් වෙත පහරදීමට සැරසෙන බව සැලවීමත් සමඟ පෙරේදා ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් එල්ල කළේය. මේ ආකාරයට එහෙන් ගහන්න කලින්, මේ පාර්ශ්වය පහරදීම සඳහා වහරන සිංහල යෙදුම වන්නේ ‘පූර්ව භංග ප්‍රහාර’ කියාය. ‘ගැහුවොත් ගහනවා’ න්‍යාය වෙනුවට, ආරංචි වෙනකොට ගහනවා යන්න, අලුත්ම ප්‍රහාර කලාවකි.

ශ්‍රී ලංකාව මෙවන් ආර්ථික විපතක් අත්කර ගත්තේ, පූර්ව සූදානම නොමැති හෙයිනි. ආදායම සහ වියදම අතර තුලනය නොමැත්තේ කොතැන ද, එතැනට පාඩුව රිංගා එන්නේය. මේ ආකාරයට පාඩුව ලබා ගන්නා වපසරිය දිනෙන් දින විශාල වෙද්දී, චක්‍රය කැරකෙන්නේ එකම ආකාරයට නම් එතැන හබක්ය.

හබක යනු උගුල් විශේෂයකි. ගල් ගුහාවල ජීවත් වූ වැදි ජනතාවෝ අහර කිස සඳහා ප්‍රමුඛ කර ගත්තේ දඩයමය. උගුල් අටවා සතුන් හසු කර ගැනීම තවත් උපායකි. හබක වනාහි වැදි ජනයා ඇටවූ උගුල් විශේෂයකි. මේ උගුල සැදුම්ලන්නේ වෙනස් ආකෘතියකටය. වළකට උඩින් දඬු මැස්සක් අටවා, ඒ දඬු මැස්ස මත්තේ ගල් ආදිය තබනු ලැබේ. මෙය මත්තේ පය තබන සතා සිවුපාවා, වළට ඇතුළට ඇදගෙන වැටෙන්නේ ගල් තොගය ද සමඟය. ඇඟට වැටෙන බර හේතුවෙන් සතා පිඩාවට පත්ව වළෙන් ගොඩ ඒමට නොහැකි වන්නේය. ණය බර ද මේ ජාතියේ හබකි. අප වැටුණේ ද නිකං වළකට නොවේ. වළ ඇතුළට වැටෙනා විට ඒ සමඟ ඇඟ උඩට විශාල බරක් ද පත බෑවුණේය.

බංකොලොත් රටක වැසියාගේ කතාව ඒ ආකාරයේය. එසේ තිබියදී තවමත් සමහර අපේක්ෂකයෝ බෙදන්නේ සහනාධාර මානසිකත්වයය. ආණ්ඩුව ගණන් හිලව් ඇතිව වැටුප් වර්ධකයක් දෙන විට අනෙක් පිරිස කිසි ගාණක් නොමැතිව අඹ ගෙඩි වෙන්දේසියක් සේ, ගණන් ප්‍රකාශ කරන්නේය. උතුරු පළාතේ දේවාලයන්හි පැවැත්වෙන අඹ ගෙඩි වෙන්දේසියකදී එක් අඹයක් රුපියල් ලක්ෂ හයකට අලෙවි වී තිබුණි. අඹය එතරම් වටින්නේ නැති වුවත්, වෙන්දේසියේ සිදුවෙන ඈවර දෑවර තරගය හේතු කොටගෙන ඔය ආකාරයට අඹයේ මිල ඉහළ යන්නේය. ඡන්ද වේදිකාවේ සහන කතාව ද ඒ ආකාරයය. ගොවි ජනයා දුටු කල, පොහොර මිල අඩු කරන්නේය. රාජ්‍ය සේවකයා දුටු වන, පඩි වැඩි කරන්නේය. මහජනතාව දුටු විට සහන බෙදන්නේය. ඔය ආකාරයට දකින දකින කෙනා අනුව නිකං බෙදීමේ සෙල්ලම ඉහළ යන්නේය. මේ ආකාරයෙන් සහන ලබාදීමට මුදල් කොයින්දැයි ඇසුවොත් “ නැහැ මං කියන්නේම නෑ. දන්නේ නෑ. උත්තරේ දන්නේ නෑ.” ආදී කතාය. පස් වසරකට වතාවක් සහනාධාර වෙන්දේසියේදී ලංසු තියන්නේ රටේ අනාගතයටය. ජාතිය නිකං උගුලක නොව හබකට වැටෙන්නේ ඒ ආකාරයට පටවන ලද බර සමඟය.

සහන වෙන්දේසියේ දැමීම අතොරක් නැතිව සිදු කළ සමයක් මේ රටේ විය. එකිනෙකා පරයා පොරොන්දු ලබාදෙමින් ඡන්දය සඳහා කැරට් අල බෙදීමේ ප්‍රතිඵල හොඳාකාරව අපි විඳ ඇත්තෙමු. ඒවායේ රිසල්ට් ආවේ තැපෑලෙනි. පරම්පරා ගණනාවකට පසු විඳවන ලද්දේ හෙයින් රැවටුණු පිරිස මළවුන් අතරට ගොස් ද අවුරුදු විස්සක් තිහක් ගතව ඇත්තේය.

මේ ආකාරයට සහන ලබාදීමේ ශක්‍යතාවයක් වත්මන් භාවිතය තුළ ඇත්තේ නැත. ඒ සඳහා නෛතික ලෙස අප එකඟ වී ඇති සම්මුති ගණනාවක් වෙයි. මේවා දැන් අණපනත් ලෙස ද සම්මත කරගෙන ඇත්තේ හෙයින් රටේ අය වැය සෑදීමේ පටන් සියලු ආර්ථික කල්කිරියාවන් සඳහා නෛතික රාමුවක් ඇත්තේය. බංකොලොත්භාවයෙන් රට මුදා ගන්නා ලද්දේ මූල්‍ය අරමුදල සමඟ පැමිණි එකඟතාවට අනුව මිස, වළා පොට ගසාගෙන, චණ්ඩීන් සේ ලෝකයාට අභියෝග කරමින් නොවේ. රටේ ඉදිරි ගමන සපුරා සැකසී ඇත්තේ එවන් සීමාමායිම් අනුවය. ඒවා කඩකළහොත් යළි පරණ වළටම ඉක්මනින් වැටීම නියතය. දැන් යන්තම් හබකයෙන් ගැලවී ඇත්තේ වුවද ආයෙත් හබකට පැටලුණහොත්, ඒ සමඟ ඇඟට වැටෙන බර පොදිය අනුව, රට පිටින්ම වැළලී යන ගාණට වැඩේ බරපතළ වෙනවා ඇත.

ආර්ථික පරිවර්තන පනත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යන සීමා ඉරේ සිට මිස, හිතට ආ පළියට රටේ ආර්ථිකය පිළිබඳව කයිවාරු ගැසීමට වත්මනේ නෛතික වශයෙන්ම ඉඩ නැත.

මේ ආකාරයට සහනාධාර බෙදාදීම සඳහා අවශ්‍ය මුදල් කොයින්දෝ යන්න ඇසූ පමණින් කයිවාරු නිමා වන්නේය. රැවටීම සඳහා ජනයා ඉදිරියේ ගොතන කතා, එයින් එහාට කතා කරන්නට නොහැකි වන්නේය. සහනාධාර පොදි බැඳගෙන බෙදීම සඳහා ඇත්තේ ක්‍රම තුනකි. එකක් ණය ගැනීමය. ණය ගැනීම සඳහා දැන් අපට ඇත්තේ එක් මූලාශ්‍රයක් පමණය. මූල්‍ය අරමුදල අප වෙත ණය ලබාදෙන්නේ එකඟතාප්‍රාකාරව පමණය. ඒ අනුව සහනාධාර ආදිය ලබාදිය හැකි ක්‍රමයක් ඇත. ලතෝනි නඟා, සහනාධාර ලබාදෙන ආකාරය එම එකඟතා සියල්ල උල්ලංඝනය කිරීමකි. අනෙක මුදල් මුද්‍රණය කිරීමය. ඒ සඳහා ද දැන් නෛතික සීමා ඇත.

බදු ආදායම ඉහළ නංවා ද සහන මලු බෙදිය හැකිය. මධ්‍යම පන්තිය දකින විට “බදු බර අඩු කරනවා’ යැයි යළි පොරොන්දු දෙන්නේ බැවින් ඒ මාර්ගය ද මෙතැනදී වැසී ගොස් ඇත්තේය.

මේ සියලු ජිමික් කතා යළි රට අගාධයට ගෙන යන කැරට් අල මිස ප්‍රතිපත්ති හා බැඳුණු කිසිවක් නැත්තේය. ඔය ආකාරයට කටයුතු කිරීමට ගිය කල යළි ඩොලරය අහස සිබින මට්ටම දක්වා පැමිණෙනවා ඇත. නිදහසින් පසු හෙවත් 1949 වර්ෂයේදී ස්ථාවර විනිමය අනුපාතය අනුව ඩොලරයක් සඳහා රුපියල් අගය 3යි ශත 32ක් විය. 1978 වසරේදී ස්ථාවර විනිමය අනුපාතිකය ඉවත් කර, ඩොලරයට රුපියල් 16ක් වූ පාවෙන පාලිත විනිමය අනුපාතිකය ලබා දුන්නේය.

2009 වසරේදී ඩොලරයක් සඳහා රුපියල් 116ක් ගෙවිය යුතු මට්ටම දක්වා ළඟා වී සිටියේය. 2024 වසර වන විට ඩොලරයක මිල රුපියල් 400 දක්වා ඉහළ ගොස් ආර්ථිකය මුළුමනින්ම සෝදා යෑමට පටන් ගෙන තිබුණි.

අද රුපියල් 300ට අඩුවෙන් එය තබාගෙන සිටින්නේ හෙයින් මෙරට මේ ආකාරයට ධාවනය වන බව ජනයා දන්නේය. ඔය ආකාරයේ පොරොන්දු යනු යළි ගෑස් නැති, තෙල් නොමැති යුගයක ආරම්භයය.

මේ ආකාරයට වහසි බස් තෙපලා වේදිකාවෙන් බැස යා හැකිය. එසේ වුවද ඔය පිළිවෙතේ රටකට ගමනක් නැත. ජනතාවගෙන් මේ තීරුව ඉල්ලා සිටින්නේ සහන ආදී කතා තරගයට තෙපලන දේශපාලනය සඳහා ඊශ්‍රායල් පන්නයට පිළිතුරු ලබාදෙන ලෙසය. ඒවා පැමිණීමට පෙර ‘පූර්ව භංග ප්‍රහාර’ සඳහා අප යොමු විය යුත්තේය. ආරංචියට අප එසේ ප්‍රතිචාර දක්වන්නේ නම්, සැබෑ සහන මිස ඡන්ද බලාගෙන එන ඇන්දිලි යළි නොඇසෙනවා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT