Wednesday, April 23, 2025
Home » පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුලු 5ක ජයක්

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුලු 5ක ජයක්

by sachintha
August 26, 2024 1:09 am 0 comment

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ මැන්චෙස්ටර්හිදී පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. මේ සමඟ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස එංගලන්තය පෙරමුණ ගත්තේය. ජෝ රූට් නොදැවී ලකුණු 62ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවා ගත්හ.

අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් මේ තරගයේ ජය සමඟ එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පත්වූයේ එම ස්ථානයේ සිට ශ්‍රී ලංකාව 5 වැනි තැනට දමමිනි.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 236කට සීමා කළ එංගලන්ත ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 358ක් රැස් කළහ.

ලකුණු 122ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිල ලකුණු 358ක් රැස් කළේ එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 205ක ඉලක්කයක් ලබා දෙමිනි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී මුල් කඩුලු 4 ලකුණු 95කට බිඳ වැටුණු අතර, ඇන්ජලෝ මැතිව්ස් සහ කමිඳු මෙන්ඩිස් එක්ව ලකුණු 78ක සබඳතාවක් එක් කළ අතර, මැතිව්ස් ලකුණු 65කට දැවී ගියේය. ඉනිමේ 6 වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසු ආබාධයකින් පිටියෙන් ඉවත්ව සිටි දිනේෂ් චන්දිමාල් කමිඳු මෙන්ඩිස්ට එක්වූ අතර, ඔවුන් දෙදෙනා ලකුණු 117ක සබඳතාවක් පිහිටුවමින් ඉනිම ලකුණු 350 සීමාවෙන් එපිටට ගෙන යෑමේ මාවත විවර කළහ. චන්දිමාල් ලකුණු 79කට දැවී ගිය අතර, තෙවැනි ටෙස්ට් ශතකය ලෙස ලකුණු 113ක් වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වූයේ පන්දු 183කදී හතරේ පහර 15ක් සහ හයේ පහරක් එල්ල කරමිනි.

මේ තරගයේ ජයග්‍රහණය සඳහා සිව්වැනි ඉනිමේදී එංගලන්තයට ලකුණු 205ක ඉලක්කයක් හිමි වූ අතර එම ඉලක්කය කඩුලු 5ක් දැවී තිබියදී සපුරා ගැනීමට ඔවුහු සමත් වූහ.

දෙපිල අතර දෙවැනි ටෙස්ට් තරගය මේ 29 වැනිදා ලෝඩ්ස්හිදී ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම – 236 (ඕවර 74) ධනංජය ද සිල්වා 74, මිලාන් රත්නායක 72 (ක්‍රිස් වෝක්ස් 32/3, ෂොයිබ් බෂීර් 55/3, ගස් ඇට්කින්සන් 48/2)

එංගලන්ත පළමු ඉනිම – 358 (ඕවර 85.3) ජේමි ස්මිත් 111, හැරී බෘෘක් 56 (අසිත ප්‍රනාන්දු 103/4, ප්‍රභාත් ජයසූරිය 85/3, විශ්ව ප්‍රනාන්දු 73/2)

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම – 326 (ඕවර 89.3) කමිඳු මෙන්ඩිස් 113, දිනේෂ් චන්දිමාල් 79, ඇන්ජලෝ මැතිව්ස් 65 (මැතිව් පොට්ස් 47/3, ක්‍රිස් වෝක්ස් 58/3, ගස් ඇට්කින්සන් 89/2)

එංගලන්ත දෙවැනි ඉනිම – 205/5 (ඕවර 57.2) ජෝ රූට් නොදැවී 62 (අසිත ප්‍රනාන්දු 25/2, ප්‍රභාත් ජයසූරිය 98/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT