ශ්‍රී ලංකාවෙන් ලෝකයට දිය හැකි උතුම්ම දායාදය බුදු දහම බව කොළඹ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවැසූහ.
චීනයේ ස්වේත සෛන්ධව අශ්ව (White Horse) විහාරස්ථානය මඟින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ පිළිගැන්වීම කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) සිදුකෙරුණු අතර එහිදී ඇල්ලේ ගුණවංශ හිමියෝ එසේ සඳහන් කළහ.
ඇල්ලේ ගුණවංශ හිමියෝ වැඩිදුරටත් මෙසේ ද පැවැසූහ.
අද ශ්‍රී ලංකාවට ඓතිහාසික දවසක්. ඔබ සියලු දෙනා රැස්ව සිටින මේ ස්ථානයත් ඓතිහාසික ස්ථානයක්. මේ ස්ථානය සමඟ අවුරුදු 45ක පමණ දීර්ඝ සම්බන්ධතාවක් තිබෙන අගමැතිවරයකු සිටිනවා. මේ ස්ථානය මුල් කරගෙන පවත්වනු ලබන ජාතික, ආගමික, සාමාජයීය, කටයුතුවලට සම්බන්ධ වෙමින් මේ රටේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා එතුමා සම්බන්ධ වුණා.
විශේෂයෙන් අගමැති ධුරයට පත්වීමෙන් අනතුරුව දිනේෂ් ගුණවර්ධන මහතා මේ රටේ බෞද්ධ පුනර්ජීවය ඇති කිරීම සඳහා අප සමඟ වරින් වර සාකච්ඡා කරමින් සහයෝගය දක්වමින් ක්‍රියා කරනවා. ථේරවාදී බෞද්ධ රටවල සහ අපේ රටට හිතවත් සෙසු රටවල බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ ස්ථානයේ ප්‍රදර්ශනයට තබා මෙහි පැමිණෙන සංචාරකයන්ට, බෞද්ධයන්ට වන්දනාමාන කිරීමට, ප්‍රදර්ශනය කරමුයි එතුමා යෝජනා කළා.
අග්‍රමාත්‍යතුමා මෙම වැඩසටහනෙහි මූලිකත්වය ගෙන කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස චීනයේ ස්වේත අශ්ව විහාරස්ථානයේ අධිපති හිමියන් ඇතුළු විහාරස්ථානයේ දායකකාරකාදීන් හා චීන රජය ඒ වෙනුවෙන් අපට සහාය ලබා දුන්නා.
අපේ රටෙන්, ලෝකයට දෙන්න පුළුවන් උතුම්ම දායාදය ථේරවාදී බුදු දහමයි. අද ලොව පුරා ආර්ථික යුද්ධයක් තියෙනවා. මේ ආර්ථික යුද්ධයට මුළු ලෝකයම සම්බන්ධ වෙලා. නමුත් ලෝකයට සැනසීම, සිතේ සතුට, කරුණාව, දයාව මෛත්‍රිය පතුරවන්න පුළුවන්කම තිබෙන්නේ බෞද්ධ වෙහෙර විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාටයි.
ථේරවාදී බුදු දහම ව්‍යාප්ත කරන්නේ අපේ ස්වාමීන් වහන්සේලායි. චීනයේ ස්වේත අශ්ව විහාරස්ථානයත්, ධර්මායතනයත් ඒකාබද්ධව ලෝකයේම ධර්මය පතුරවන්න ප්‍රමුඛස්ථානය ගනිමු.
චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා.
මෙම වැදගත් අවස්ථාව චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය දීර්ඝ කාලයක් පුරා පැවතීමට හේතු වෙනවා. මෙම ප්‍රතිමාව ප්‍රදානය කර ඇත්තේ චීනයේ ප්‍රථම සහ ප්‍රමුඛතම විහාරස්ථානය වන ස්වේත අශ්ව විහාරස්ථානයෙන්. අපේ ජනාධිපති ශී ජින්පින් පැවසුවේ පැරණි ශිෂ්ටාචාර සංකලනය මානව වර්ගයාගේ ප්‍රගතියට හේතුවන බවයි. බෞද්ධ මිත්‍රත්වය ඉදිරියට ගෙනයෑම සහ යහපත් මිත්‍රත්වය සහතික කිරීම මෙමඟින් අපේක්ෂා කරනවා. බෞද්ධ ධර්මය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ පුළුල් සැලැස්මක් අනුව තායිලන්තය, ඉන්දුනීසියාව, වියට්නාමය, මියන්මාරය, ඉන්දියාව, කාබෝජියාව සහ ලාඕසය යන රටවල මෙලෙස ප්‍රතිමා ස්ථානගත කිරීමට නියමිතයි.
පූජ්‍ය යින් ලේ, වයිට් හෝස් විහාරයේ අධිපති, පූජ්‍ය මියාවෝ යේ, වයිට් හෝස් විහාරයේ කාර්ය මණ්ඩලය, පූජ්‍ය ගුවන් ෂැන්, වයිට් හෝස් විහාරයේ කාර්ය මණ්ඩලය, චීන තානාපති චි ෂෙන්හෝන්ග් සහ ෂෙන්හොන්ග් මැතිනිය, පැන්ග් මින්ෂින්, නියෝජ්‍ය අධ්‍යක්ෂ, චීන කොමියුනිස්ට් පක්ෂ ලුවොයැන්ග් නාගරික කමිටුවේ එක්සත් පෙරමුණු කාර්ය දෙපාර්තමේන්තුව, ගාවෝ ෂෙන්ලි, අධ්‍යක්ෂ, ලුවොයැන්ග් ජනවාර්ගික හා ආගමික කටයුතු කාර්යාංශය, බයි ෂිබින්, නියෝජ්‍ය අධ්‍යක්ෂ, චීන කොමියුනිස්ට් පක්ෂ ලුවොයැන්ග් නාගරික කමිටුවේ විදේශ කටයුතු කොමිෂන් සභාව, හු ෂුවන්යැන්, ලුවොයැන්ග් වාර්ගික හා ආගමික කටයුතු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ ලුවොයැන්ග් බෞද්ධ සංගමයේ මහ ලේකම්, ෂැන්ග් චුවන්යු, අංශ ප්‍රධාන, චීන කොමියුනිස්ට් පක්ෂ ලුවොයැන්ග් නාගරික කමිටුවේ විදේශ කටයුතු කොමිෂන් සභා කාර්යාලයේ ජාත්‍යන්තර හුවමාරු අංශ නියෝජිතයන්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනී ගුණවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
නුවන් කොඩිකාර