Wednesday, April 23, 2025
Home » එක් කෝටි තිස්අට ලක්ෂයක විදෙස් දුම්වැටි කටුනායකදී දැලේ

එක් කෝටි තිස්අට ලක්ෂයක විදෙස් දුම්වැටි කටුනායකදී දැලේ

-මගීන් හතරක් අත්අඩංගුවට

by sachintha
August 26, 2024 1:09 am 0 comment

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙනවිත් කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ රුපියල් එක් කෝටි තිස් අට ලක්ෂ හැට දහසක් වටිනා විදේශීය දුම්වැටි කාටුන් 462ක තොගයක් සමඟ ගුවන්යානා දෙකක පැමිණි ගුවන් මගීන් සිව්දෙනකු ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පසුගියදා (23) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම කටුනායක ගුවන්තොටුපොළ රේගු ඉතිහාසයේ විශාලතම දුම්වැටි වැටලීම්වලින් එකක් බව ගුවන්තොටුපොළ රේගු නිලධාරියෙක් පැවසීය.

පසුගියදා (23) පස්වරු 03.20ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 390 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් මගීන් තිදෙනකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් අතර ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සහ 23 හැවිරිදි ගුවන් මගීන් දෙදෙනකු සහ 40 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි ගුවන් මගියකු වශයෙන් ගුවන් මගීන් තිදෙනෙකි.

ඔවුන් සිය ගමන් මලු තුළ මෙම විදේශීය නිෂ්පාදිත ” මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි කාටුන් 115 බැගින් දුම්වැටි කාටුන් 345ක් සඟවාගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව සජා නුවර සිට 23 වැනි දින පස්වරු 02.36ට පැමිණි එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9508 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි නෙළුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ගුවන් මගියකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ද විදේශීය නිෂ්පාදිත ” මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි කාටුන් 117ක් සඟවාගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 92,400ක් අඩංගු දුම්වැටි කාටුන් 462ක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම අත්අඩංගුවට ගැනීම නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන එච්.ආර්.ජී. කරුණාතිලක, සී.පී. බෝපගේ සහ එන්.යූ.කේ. බානගල යන මහත්වරුන් විසින් සිදු කර තිබිණි.

මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජේ.එල්.කේ. ප්‍රනාන්දු මහතා විසින් පැවැත්වූ අතර එහිදී මෙසේ නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සියල්ල රාජසන්තක කිරීමට නියෝග කළ අතර මෙම ගුවන් මගීන් සිව්දෙනාට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ හතරක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කළේය.

කටුනායක – ටී.කේ.ජී.කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT