මිය ගිය සෙනාලි රාජපක්ෂ
“ලොකු දුව සීතාවකපුර සාදයකට ගිහින් ඇවිත් ඇඟපත සෝදාගෙන මට ගිය සාදය ගැන විස්තර කියන්න කතා කළා. මම හිටියේ එතකොට කෝල් එකක. සාදයේ තොරතුරු මට දුවගෙන් දැන ගන්න බැරි වුණා.” යැයි පෞද්ගලික බැංකුවක සේවය කරන තරුණියකගේ මරණය සම්බන්ධයෙන් පැවති සාක්ෂි විභාගයේදී ඇයගේ මව වන 54 හැවිරිදි ඉඹුල්ගොඩ ලේකම්ලාගේ රෝහිණි ජය මැණිකේ නමැත්තිය ඊයේ (25) පැවසුවාය.
නිට්ටඹුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවය කරමින් සිටි අංක 02,ඒ. ඩඩ්ලි සේනානායක මාවත, අඹේපුස්ස, වරකාපොළ පදිංචිව සිටි 21 හැවිරිදි රාජපක්ෂ ආරච්චිලාගේ සෙනාලි රාජපක්ෂ නමැති තරුණියක් මෙසේ මියගොස් ඇත.
මේ තරුණිය ඊයේ (25) අලුයම නිවෙසේදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබුණි. ඒ වන විටත් තරුණිය මිය ගොස් තිබුණි. මියගිය තරුණියගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (25) වරකාපොළ හදිසි මරණ පරීක්ෂක විමලසිරි රාජපක්ෂ මහතා ඉදිරියේ කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී සිදු කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මිය ගිය තරුණියගේ මව මෙසේ පැවසුවාය.
“මගේ උපන් ගම කෑගල්ල, මොරොන්තොට, හපුවිට උඩගම. පස්සේ මම පිංදෙණිය, කොටියාකුඹුර පදිංචිව සිටින රාජපක්ෂ ආරච්චිලාගේ සිරස් රාජපක්ෂ සමඟ විවාහ වුණා. අපි අඹේපුස්ස, මාහේන ප්‍රදේශයේ පදිංචිව වෙලා දැනට ලී බඩු ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. අපි දෙන්නාට දුවලා දෙදෙනෙක් ඉන්නවා.
මේ නැති වෙලා ඉන්නේ මගේ ලොකු දුව. ලොකු දුව තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයෙන් 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටියා. පස්සේ දුව පෞද්ගලික විශ්වවිද්‍යාලයක ගිණුම්කරණය පිළිබඳ ඉගෙන ගන්න ගියා. ඒ අතරේ නිට්ටඹුවේ පෞද්ගලික බැංකුවක සේවයට යමින් එමින් සිටියා. දෙවැනි දුව කෑගල්ලේ බාලිකා පාසල ඉගෙන ගත්තා. පස්සේ කුරුණෑගල පෞද්ගලික පාසලකට ඇතුළත් කළා. කුරුණෑගල නතර වෙලා ඉගෙන ගන්නවා. මමයි මහත්තයයි වෙළෙඳ ව්‍යාපාරය කරගෙන ඉන්නවා. දුවට කිසිම අසනීපයක් තිබුණේ නෑ. ඉපදුණාට පස්සේ අද තමයි ඉස්පිරිතාලෙකට හරි ඇතුළත් කළේ.
පෙරේදා (24) දුව බැංකුවේ කාර්ය මණ්ඩලය එක්ක සීතාවක උත්සවයකට ගෙදරින් උදේ 6.30ට විතර ගියා. රෑ 8.30ට විතර ගෙදර ආවා. ඇවිල්ලා ඇඟපත සෝදාගෙන උඩ තට්ටුවට ගියා. මම මහත්තයාට කෑම බෙදලා දුවට කෑම කන්න කතා කළා. දුව රෑට කෑම කනවා අඩුයි. ඊට පස්සේ දුව කිව්වා, කෑම කන්න බෑ අම්මේ කියලා. මමත් වැඩිය බල කළේ නෑ කෑම කන්න කියලා. පස්සේ දුව ගිය සාදයේ තොරතුරු කියන්න කතා කළා. ඒ වෙලාවෙ මම කෝල් එකක හිටියේ. සාදයේ තොරතුරු මට දුවගෙන් අහගන්න බැරි වුණා.
පස්සේ අපි නිදා ගත්තා. ඊයේ (25) පාන්දර 3ට විතර දුව උඩ ඉඳලා පහළට ඇවිල්ලා බාත්රූම් එකට යනවා දැක්කා. ඒ ගිහින් ඇවිල්ලා දුව අපි දෙන්නා නිදාගෙන හිටිය කාමරයට ඇවිල්ලා අම්මේ මට අමාරුයි කියලා කිව්වා. පස්සේ මහත්තයා දුව වැටෙන්න දෙන්නේ නැතිව අල්ල ගත්තා. මම ගිහිල්ලා ගේට්ටුව ඇරියා. මහත්තයා දුව වඩාගෙන කාර් එකට අරන් ඇවිත් වරකාපොළ ඉස්පිරිතාලෙට ගෙනාවා. ඒ අරන් යනකොට දුව වචනයක්වත් කතා කළේ නෑ. වරකාපොළ ඉස්පිරිතාලෙට ඇතුළත් කරලා බාහිර රෝගී අංශයේ හිටපු වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය ගොඩක් වෙහෙස මහන්සි වුණා දුව බේරා ගන්න. ඒත් වැඩක් වුණේ නෑ. දුව නැති වුණා. මට දුවගේ මරණය ගැන සැකයක් නෑ.”
මෙහිදී මිය ගිය තරුණියගේ පියා වන 54 හැවිරිදි රාජපක්ෂ ආරච්චිලාගේ රාජපක්ෂ මහතා ද සාක්ෂි දුන්නේය.
කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි, වෛද්‍ය බණ්ඩාරගේ සංජය මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලදි. ශරීර කොටස් වැඩිදුරටත් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර, වෛද්‍ය වාර්තා ලැබෙනතුරු මරණයට හේතුව විවෘත තීන්දුවක් බවට වරකාපොළ හදිසි මරණ පරීක්ෂක විමලසිරි රාජපක්ෂ මහතා තීන්දු කළේය.
මිය ගිය තරුණියගේ අවසන් කටයුතු අද (26) වරකාපොළදී සිදු කිරීමට නියමිතය.
වරකාපොළ පොලිසියේ පොලිස් සැරයන් ජයරත්න (32331) නිලධාරියා විමර්ශන කටයුතු සිදු කළේය.
කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්