කැලණිය බියගම පාරේ කළු පාලම ආසන්නයේ පට්ටිය ප්රදේශයේ වේල්ල මත පිහිටි නිවසක වහලය මතට නිවස ආසන්නයේම පිහිටි බෝ වෘක්ෂයක අත්තක් කඩා වැටී නිවසේ රූපවාහිනිය නරඹමින් සිටි කුඩා දරුවන් දෙදෙනකු සහ දරුවන්ගේ මව තුවාල ලබා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇතැයි පෑලියගොඩ පොලිසියෙන් වාර්තා වේ. ඉකුත් 22 වැනිදා රාත්රි 8.30ට පමණ සිදුවූ සිද්ධිය පිළිබඳව දරුවන්ගේ මිත්තණිය පැවසුවේ මීට පෙරද මෙම බෝ ගසේ අතු කඩා වැටී අසල්වැසි නිවෙස්වලට හානි සිදු වූ බවයි. මෙම බෝ ගස මෙම ස්ථානයෙන් ඉවත් කර දෙන ලෙසට බලධාරීන් ගෙන් නොයෙක් වර ඉල්ලීම් කළත් කිසිදු අයකු ගණන් නොගත් බවත් එම නිසා මෙම අනතුර සිදුවූ බවත් කීවාය.
අවුරුදු හයක් සහ අවුරුදු එක හාමාරක පමණ වයසැති දරුවන් දෙදෙනකු සහ 39 හැවිරිදි දරුවන්ගේ මව සිද්ධියෙන් තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇති අතර එම නිෙවස ඇතුළු තවත් නිවාස කිහිපයකට මෙම අනතුරෙන් දැඩි අලාභ හානි සිදුවී ඇත. 22 වැනිදා රාත්රි පෑලියගොඩ පොලිසිය සහ ප්රදේශයේ ග්රාම නිලධාරිවරයා එම ස්ථානය වෙත ගොස් පරීක්ෂණ පවත්වා ඇත.