වත්මන් ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් වීමට විධායක ජනාධිපති ධුරය ඍජු බලපෑම් එල්ල කළ බව මහාචාර්ය දීපිකා උඩගම මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව සඳහන් කළේ, ‘සත්‍යය සහ යුක්තිය උදෙසා නීතිඥයෝ’ සංවිධානය විසින් ජානකී හෝටල් පරිශ්‍රයේදී පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය දීපිකා උඩගම මහත්මිය:
“වත්මන් ශ්‍රී ලංකාවට විධායක ජනාධිපතිධුරය සැබවින්ම අවශ්‍යද කියන එක ප්‍රශ්නයක්. මෙරට පාලන ක්‍රියාවලිය වසර 50කට ආසන්න කාලයක් සිදු වූයේ විධායක ජනාධිපති ධුරය මඟින්. එහෙත් මෙමඟින් රාජ්‍යයේ සංවර්ධනය වීමක් සිදු වූවාද කියන එක ගැටලුවක්. සෑම ජනාධිපති අපේක්ෂකයකුම බලයට ඒමට පෙර මේ විධායක ජනාධිපති ධුරය ඉවත් කරන බවට පොරොන්දු දුන්නත්, බලයට පත් වූ පසු සිදු කළේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යමින් තමන්ගේ බලය ධනය වර්ධනය කරගැනීමක්. වත්මන් ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙන්න විධායක ජනාධිපති ධුරය ඍජු බලපෑමක් එල්ල කළා. 1978 වසරේ විධායක ජනාධිපතිධුරය නිල වශයෙන් හඳුන්වා දීමෙන් වසර 5කට පසු මෙරටේ ඇති වූ බිහිසුණුම ජාතිවාදි අරගලය සිදු වුණා. 2000 වසරේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුත් එවක පාර්ලිමේන්තුව විසින් එය ප්‍රතික්ෂේප වුණා. ඉන් පසු අද වන තුරු විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට කිසිවකු මුලපුරලා නැහැ.
“2022 වසරේ ඇති වූ ජන අරගලයේද මූලික අරමුණක් බවට පත් වූයේ විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමයි. එහෙත් මේ වන තුරු විධායකය අහෝසි කිරීමට කිසිදු දේශපාලනඥයකු සමත් වී නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නැවත කැඳවීමේ බලය ඇතුළත් කළ යුතුයි. වත්මන් ශ්‍රී ලංකාව තුළ system change එකක් ඇති කිරීමට නම් විධායකය අහෝසි කොට වග වන රාජ්‍ය ක්‍රමයක් ඇති කළ යුතුයි.”
නීතිඥ මනෝජ් නානායක්කාර, නීතිඥ අමිල ගොඩගහවත්ත, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, එම්.ඒ. සුමන්තිරන් ඇතුළු මහත්ම මහත්මීහු මෙහිදී අදහස් දැක්වූහ.