ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති සහ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා කොරියානු ආයෝජනයන් සැලසීමට දකුණු කොරියානු මහජන සමූහාණ්ඩුවේ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයකු වන යොං-ජෝ මුන් මහතා එකඟතාව පළ කළේය. ඒ මහතා මේ බව පැවසවේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පෙරේදා (22) පැවැත්වුණු අවස්ථාවේදීය.
මෙරට බලශක්ති සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කළ යොං-ජෝ මුන් මහතා තමන් සභාපතිත්වය දරන ජාත්‍යන්තර අන්තර් හුවමාරු සංවර්ධන සංගමයට අනුබද්ධ ව්‍යවසායකයන් සූර්ය බලශක්ති ව්‍යාපෘති කිහිපයකට මෙන්ම ශ්‍රී ලංකාවේ පළතුරු වගාව සඳහා ද ආයෝජනය කිරීමට කැමැත්තෙන් පසු වන බව කියා සිටියේය. ශ්‍රී ලංකාවේ පලතුරු වගාව සඳහා ආයෝජනය කිරීමේ කැමැත්තෙන් පසුවන්නන් කොරියාව ඇතුළු වෙනත් රටවලට මෙරට පලතුරු අපනයනය කිරීමේ අදහසින් පසු වන බවද හෙතෙම පැවසීය. මේ ක්ෂේත්රවල ආයෝජන කිරීමේ යෝජනා ශ්‍රී ලංකාව පිළිගන්නා බව පැවසූ අගමැතිවරයා විකල්ප බලශක්ති ප්රභවයන්වලට යොමු වෙමින් බොරතෙල් මත යැපීම අවම කිරීම සඳහා රජය සැලසුම් කර ඇතැයි පෙන්වා දුන්නේය. ධීවර, සෞඛ්‍ය සහ ඉදිකිරීම් ක්ෂේත්රවල නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා යොදාගත හැකි නව තාක්ෂණය සඳහා කළ හැකි ආයෝජන පිළිබඳවද ඔවුහු සාකච්ඡා කළහ.
පූජ්‍ය වෙදන්ඩේ ජිනරතන හිමි සහ යොං-ජෝ මුන්, මූනි එන්ජියෝ, ලක්ප්‍රිය අතුකෝරල, සුධර්මා කුලතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, උපදේශක සුගීස්වර සේනාධීරද මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.