යාපනයේ නෙල්ලිඅඩි නගරයේ පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු එහි සේවකයකුව කඩුවකින් කපා බරපතළ තුවාල සිදුකොට පලා ගොස් තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පැමිණි නෙල්ලිඅඩි පොලිසියේ නිලධාරීන් ඉන්ධන පිරවුම්හලේ පිහිටි සී.සී.ටී.වී කැමරා පද්ධතියේ සිද්ධිය වූ 22 දා සටහන් දර්ශන ඔවුන් වෙත ලබා ගෙන තිබේ. මෙම ඉන්ධන පිරවුම්හල නෙල්ලිඅඩි සමූපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලක් වන අතර සිද්ධිය වූ දිනයට පෙර සවස් කාලයේදී ඉන්ධන ලබා දීමේ ප්රශ්නයක් මත ඉන්ධන පිරවුම්හලට පැමිණි තරුණ පිරිසක් හා ඉන්ධන පිරවුම්හලේ සේවකයන් අතර ප්රශ්නයක් ඇති වී තිබේ.
එහිදී ඔවුන් බහින්බස් වී එකිනෙකාට පහරදී ගැනීමට උත්සාහ කොට ඇතත් පිරිසක් මැදිහත්ව එම ප්‍රශ්නය විසඳීමට පියවර ගැනීම නිසා ඇතිවන්නට ගිය රණ්ඩුවක් වැළකී ගොස් තිබේ.
පසුව යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු ඉන්ධන පිරවුම්හලේ සේවකයකුට කඩුවකින් කපා බරපතළ තුවාල සිදුකොට පලා යන ලද්දේ පෙර සිද්ධියට පළිගැනීමක් වශයෙන් බවට පොලිසිය සැක කරයි. කඩු ප්රහාරයෙන් තුවාල ලැබූ ඉන්ධන පිරවුම්හල් සේවකයා මුලින්ම තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නිසා ඔහු යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇත.
මේ දක්වාම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර නෙල්ලිඅඩි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.