එක් පන්දු ඕවරයකදී, ලකුණු තිස් නවයක් රැස් කිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ නොබිඳිය හැකි වාර්තාවක් වන්නේය. “වැටට උඩින් හයයි. වහලයට හතරයි. එහා වත්ත අවුට්…” තාලයේ පොඩි එවුන් ගසන ක්‍රිකට්වල පවා මේ ගැහිල්ල සෙල්ලම් නැත. එසේ තිබියදී ජාත්‍යන්තර තරගයක, ඔහොම නෙළනවා කියන්නේ යූ ටියුබ් එකට ගොස් එක දිගට දහදොළොස් වතාවක් ඒ ඕවරය නැරඹිය යුතුය.
2026 ලෝක කුසලානය සඳහා කලාපීය සුදුසුකම් ලැබීමේ තරග මේ දිනවල පැවැත්වෙන්නේය. වනවාටු සහ සැමෝවා යන රටවල් දෙක අතර, එහෙම මැච් එකක් තිබුණේ, අගෝස්තු විසි වෙනිදාය. මේ රටවල් අපගේ කනට නුහුරු හෙයින් වාර්තාව දැනගැනීමට පෙර රටවල් දෙක දැනගත යුතුය. වනවාටු වනාහි දකුණු පැසිෆික් මුහුදේ පිහිටි දූපත් රාජ්‍යයකි. එම මුහුදේම පිහිටා ඇති ජනාවාස වූ දූපත් දෙකක් සහ ජනාවාස නොවූ දූපත් සමූහයකින් යුත් රටකි, සැමෝවාව. මේ දෙරට උත්සාහ දරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පෙළ ගැසීමටය. මේ සඳහා වන ඇතුළු වීමේ දොරටුවක් වන්නේ, 2026 ලෝක කුසලානය සඳහා තරග වැදීමේ අවස්ථාවක් උදාකර ගැනීමය. එතැනදී සිලෙක්ෂන් මැච් ඇත්තේය. ශ්‍රී ලංකාව වැනි ටෙස්ට් රටක් ද සිලෙක්ෂන් මැච් ගසා, ගියවර ලෝක කුසලානය සඳහා සහභාගි වන තරමට අභාග්‍යසම්පන්න වන විට, වනවාටු සහ සැමෝවා වැනි ආධුනිකයන් සිලෙක්ෂන් මැච් ගැසීමේ අවුලක් ඇත්තේම නැත.
දෙරට අතර පැවති එක් තරගයක, 15 වැනි පන්දු වාරයේ දී ලකුණු 39ක් රැස් කරමින් සැමෝවා කණ්ඩායම එම විස්සයි20 වාර්තාව පිහිටුවා ඇත. පහළොස් වෙනි පන්දුවාරයේ එක් පන්දුවක් නිපන්දුවක් වීම හේතුවෙන් ඒ සඳහා ලැබුණු ෆ්‍රී හිට් අවස්ථාව සඳහා ද පහරක් එල්ල කරමින් මෙම ලකුණු තිස්නවයේ වාර්තාව තබා ඇත්තේ, සැමෝවා කණ්ඩායමේ ඩේරියස් විසර්ය. හෙතෙම පන්දු 62ක දී ලකුණු 132ක් රැස් කළ අතර, වනවාටු කණ්ඩායම මෙම තරගයෙන් ලකුණු 10ක ජයක් අත් කර ගත්තේය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හයේ පහර හයක් එල්ල කරන ලද අවස්ථා හතරක් ඇත්තේය. එසේ තිබියදී, එක් ඕවරයකට ලකුණු තිස් නවයක් ලබාගත් අවස්ථාවක් නම් නැත්තේය.
එහෙම නොසිතූ ‘හයේ පහරක්’ ඊයේ පෙරේදා රාජ්‍ය සේවකයින් වෙත ලැබුණි. මේ රටේ රාජ්‍ය සේවය සඳහා, වැටුප් ලබාදී පිරිමැසිය නොහැක්කේය. එක් කාණ්ඩයක් වෙත පඩි වැඩි කළ සැණින් අනෙක් කාණ්ඩයෝ පාරට බසින්නාහ. මේ ආකාරයට රාජ්‍ය සේවය පිනවිය නොහැක්කේ බැවින් ‘ෆ්ලැට්’ ලෙස හෙවත් සියල්ලන්ටම සමාන ආකාරයක වැටුප් වැඩි කිරීමක් කළ යුත්තේය.
පවතින කාලය, වැටුප් වැඩි කළ හැකි සමයක් නොවේ. මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතා අනුව මිස, වැටුප් වැඩි කිරීමක් ගැන කතා කිරීමවත් තහනම්ය. මේ රට දැන් ධාවනය වන්නේ ආර්ථික පරිවර්තන පනත නම් පීල්ල දිගේය. එය වනාහි බංකොලොත්භාවයෙන් රට මුදවන ලද රාමුවය. රාමුව කඩාගෙන ගිය හොත් ශ්‍රී ලංකාව පින්තූරයක් ලෙස රාමු කර තබා ගත හැකි අතර, එවන් රටක් මීට කලින් තිබුණා යැයි, වෙනත් රටවල අයට ඒ පින්තූරය බලා දන්නා කියන අයට කියා දිය හැකිය.
රටේ ජනතාව අමාරුකම් රාශියක් මධ්‍යයේ වුවද රට ගොඩනැඟීම සඳහා කැපවීමක් කළහ. දැන් එහි පල නෙළන කාලය බැවින් සමස්තයට ගොඩයෑම සඳහා ආර්ථික පරිසරය නිර්මාණය කරන අතරේ, රාජ්‍ය සේවකයා සඳහා ද දැනෙන දෙයක් කළ යුතුය. රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ප්‍රශ්නය විසඳීමට වඩා රටේ භූ විෂමතා සමතල කර පිට්ටනියක් සේ එක් තලයකට ගෙන ඒම පහසුය. මේවා විසඳන අතරේ, මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතා රාමුව ද රැකගත යුතුය. සියල්ල විසඳනු වස්, ජනාධිපතිවරයා කමිටුවක් පත් කළේය. එහි සභාපතිවරයා හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්නය. කමිටුවේ නම ‘වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුව’ය.
පෙරේදා එම කමිටුව මාධ්‍ය වෙත දැනුම් දෙන ලද්දේ, රාජ්‍ය සේවයේ මූලික වැටුප පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව රාජ්‍ය සේවයේ සියලුම වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප 2025 වසරේ ජනවාරි මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බවය.
ඕවරයකට හයේ ඒවා හයක් ගසා ඇත්තේ වුවද ඕවරයක් සඳහා ලකුණු තිස් නවයක් ලබා ගැනීම දුර්ලභ සේ, ලංකාවේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩි වීම පිළිබඳව වූ වාර්තාව ආණ්ඩුව තබන්නේ එසේය.
පවතින උද්ධමනය හා ආර්ථික සාධක සැලකිල්ලට ගෙන සියලුම රාජ්‍ය සේවකයින් සඳහා 2025 වසරේ ජනවාරි මසයේ සිට ජීවන වියදම් දීමනාව වසර තුනක් දක්වා නොවෙනස්ව රුපියල් 25,000.00 බැගින් ලබා දීමටද වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුව යෝජනා කර තිබේ.
රාජ්‍ය අංශයේ පහළම සේවකයාගේ වැටුප මේ හේතුවෙන් රුපියල් පනස් පන්දාහ දක්වා වැඩි වෙනවා ඇත. මෙම වාසිය වනාහි මේ රටේ ජනතාවගේ ජීවන බර අවම කිරීම සඳහා දරන ලද උත්සාහයක් පමණක් නොවේ. හැමදාම පාරට බැසීමේ අරමුණින් වැඩට එන රාජ්‍ය සේවයේ ප්‍රශ්න ගණනාවක් විසඳාලීම සඳහා ද දැමූ පදනමක් හෙයින් ‘හයේ පහර’ තවත් බලවත්ය. එතැන් සිට රටේ අමාරු කාලය නම් වූ පරිච්ඡේදය ද නිම වෙනවා ඇත.