Home » ස්මිත් එංගලන්තය පෙරට ගෙන යයි

ස්මිත් එංගලන්තය පෙරට ගෙන යයි

by mahesh
August 23, 2024 1:02 am 0 comment

මැන්චෙස්ටර්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම අබිබවා ඉදිරියට යෑමට සත්කාරක එංගලන්ත පිල සමත් විය.

ඊයේ තරගය දිවා විවේකයට පෙර උදය වරුව වර්ෂාව හේතුවෙන් එක් පන්දුවක් හෝ යැවීමට නොහැකිව සේදි ගිය අතර, යළිත් එරට වේලාවෙන් පස්වරු 6.00ට පමණ වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් පස්වරු 6.30ට තරගය නතර කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

ඒ වන විට එංගලන්තය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 259ක් රැස් කර තිබුණේ ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට රැස් කළ ලකුණු 236ට පිළිතුරු ලෙසිනි. ඒ අනුව කඩුලු 4ක් අතැති එංගලන්ත පිල පළමු ඉනිමේදී ලකුණු 23ක වාසියක් අත්කරගෙන තිබිණි.

තරගය නතර කරන විට ජේමි ස්මිත් ලකුණු 72ක් සහ ගස් ඇට්කින්සන් ලකුණු 4ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

පන්දු 97කට මුහුණදුන් ස්මිත් හතරේ පහර 5ක් සහ හයේ පහරක් එල්ල කර තිබිණි.

කිසිවකු නොදැවී ලකුණු 22ක් රැස් කර තිබියදී ඊයේ දිවා විවේකයෙන් පසුව දිනය ඇරඹූ එංගලන්ත පිලට තවත් ලකුණු 8ක් එක් වෙද්දී ආරම්භක පිතිකරු බෙන් ඩකට්ගේ ඉනිම ලකුණු 18කට සීමා කිරීමට අසිත ප්‍රනාන්දු සමත් විය. ඉන් නොනැවතුණු ඔහු තවත් ලකුණු 10ක් තුළ නායක ඔලී පෝප් (6) ද පිටියෙන් ඉවත් කළේය. ලකුණු 42ක් රැස් කර සිටි එංගලන්ත පිලේ ප්‍රබලම පිතිකරුවකු වන ජෝ රූට් සිය තෙවැනි කඩුල්ල ලෙස දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වූ අතර, ඔහුට අනගි සහායක් දෙමින් ඉන් පෙර ඩැන් ලෝරන්ස් (30) දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් විය.

රූට් මුළු ලකුණු 125දී රූට් දැවී ගිය අතර, ඉන් පෙර ඔහු හැරී බෘෘක් සමඟින් සිව්වැනි කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 58කි. සවස තේ පානය වන විට එංගලන්ත පිල කඩුලු 4කට ලකුණු 176ක් රැස් කර තිබිණි.

සවස තේ පානයෙන් පසු තවත් කඩුලු 2ක් බිඳ දැමීමට ප්‍රභාත් ජයසූරිය සමත් වූ අතර, හැරී බෘෘක් ලකුණු 56කට සහ ක්‍රිස් වෝක්ස් ලකුණු 25කට ජයසූරියගේ ගොදුරු බවට පත් විය.

දැවී යෑමට පෙර ජේමි ස්මිත් සමඟින් බෘෘක් 5 වැනි කඩුල්ලට ලකුණු 62ක් සහ වෝක්ස් 6 වැනි කඩුල්ලට ලකුණු 52ක සබඳතා ගොඩනඟා තිබිණි.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 3ක්, ප්‍රභාත් ජයසූරිය කඩුලු 2ක් සහ විශ්ව ප්‍රනාන්දු කඩුල්ලක් දවා ගත්හ.

අද තරගයේ තෙවැනි දිනයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT