Home » දුල්නිත්ගේ ශතකය කොළඹ උතුරට දෙවැනි ජය ගෙනෙයි
17න් පහළ යූත් ලීග් එක්දින ක්‍රිකට්

දුල්නිත්ගේ ශතකය කොළඹ උතුරට දෙවැනි ජය ගෙනෙයි

by mahesh
August 23, 2024 1:00 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අනුරාධපුරයේදී පැවැත්වෙන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ජය වාර්තා කිරීමට කොළඹ උතුර ක්‍රීඩකයෝ ඊයේ සමත් වූහ.

තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ මහනුවර පිලට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට කොළඹ උතුර පිල සමත් විය.

සමාධි පිටියේ පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් මහනුවර පිල ලකුණු 292ක් රැස් කළ අතර, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කොළඹ උතුරු පිලට ලකුණු 277ක ඉලක්කයක් හිමි විය. එම ඉලක්කය ඕවර 42.3කදී සපුරාගත් කොළඹ උතුරු ක්‍රීඩකයන්ට අහිමි වූයේ කඩුලු 5ක් පමණි.

කොළඹ උතුරු පිලට වේගවත් ආරම්භයක් දුන් දුල්නිත් සිගේරා ලකුණු 109ක රැස් කළේ පන්දු 64ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 9කින් සහ හයේ පහර 8කින් වර්ණවත් විය.

දිනුර දම්සිත් සමඟ එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 111ක සබඳතාවක් පිහිටුවීමට ද දුල්නිත්ට හැකි විය. දිනුර (58) සහ නායක කිත්ම විදානපතිරණ (52) ද ඉනිමට අර්ධ ශතක එක් කළහ.

මහනුවර නායක කවිජ ගමගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 90කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 81ක් රැස් කරමිනි. පන්දු යැවීමේදී තනුග පලිහවඩන කඩුලු 4ක් සහ රුසිත නිම්සර කඩුලු 3ක් දවා ගත්හ.

මේ අතර කොළඹ දකුණු පිල සමඟ සිරිපුර යුද හමුදා පිටියේ පැවති තරගය කඩුලු 3කින් ජය ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් විය. මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් කොළඹ දකුණු පිල දුන් ලකුණු 169ක ඉලක්කය හඹා ගිය දඹුලු ක්‍රීඩකයෝ ඕවර 45.5කදී ජය හිමි කර ගත්තේ කඩුලු 7ක් දැවී තිබියදීය.

මේ තරගාවලියට අද විවේක දිනයක් වන අතර, හෙට (24) සාලියපුරදී කොළඹ දකුණු – මහනුවරත්, සමාධි පිටියේදී ගාල්ල – දඹුල්ල තරග වැදීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT