තුම්මෝදර ප්‍රදේශයේදී ස්ථාන දෙකකින් කැඩී වෙන් වූ ලබුගම කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන යන නළය ඉතා කෙටි කාලයක් තුළ අලුත්වැඩියා කොට නළ ජලය සැපයීමට හැකි වූ බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යධිකාරි ඉංජිනේරු ටී. බාරදීදාසන් මහතා පැවසීය. සීතාවක ප්‍රදේශයට ඉකුත් ජුනි මාසයේදී පැවැති අධික වර්ෂාවත් සමඟ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් මෙම ජල නළය කැඩී වෙන් වී ගිය අතර, මේ නිසාවෙන් කලටුවාව සිට හයිලෙවල් මාර්ගයේ මහරගම දක්වා වූ ප්‍රදේශවලට අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයීමට කටයුතු කළද විවිධ ප්‍රදේශවලට අඩු පීඩනය යටතේ ජලය ලැබීම ආදී සිදුවීම් නිසා එම ප්‍රදේශවල ජනතාවට විවිධ අපහසුතාවලට මුහුණ දීමට සිදු වී තිබුණි.
කෙසේ වෙතත් දැඩි දුෂ්කර ප්‍රදේශයක සිදු වූ මෙම ආපදාව කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය කටයුතු කළ අතර, එම නලය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමෙන් පසුව මේ වන විට ජලය නිසි පරිදි ලබා දෙන බව ජලසම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසීය.