Home » රස්සාවක් – ව්‍යාපාරයක් නොකරපු කෙනෙකුට රට හදන්න බෑ

රස්සාවක් – ව්‍යාපාරයක් නොකරපු කෙනෙකුට රට හදන්න බෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා

by mahesh
August 23, 2024 1:00 am 0 comment

ඩී. මිහිඳුකුල - කොච්චිකඩේ

“රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුර කුමාර මහතා ගත්තම අහසට පොළොව වගේ. රස්සාවක්, ව්‍යාපාරයක් කරලා නැති කෙනෙක්ට රටක් හදන්න බැහැ. ඒ අයට රටක් කරන්න අත්දැකීමක් තියෙනව ද ? ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන්න පුළුවන් ද ?” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ දේශපාලන ක්‍රියාකාරීන්ගේ හමුවක් මීගමුවේදී පැවති අවස්ථාවේය. තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙනෙද්දි අපි කිව්වා ගේන්න එපා කියලා. ජනතාව තමා ගෙනාවේ. ඊට පස්සේ අපිත් වැඩකළා. අන්තිමට වැඩ කරපු මිනිස්සු අයින් වුණා. ඒ නිසා ජනතාව තීන්දු කළ යුතුයි. මේ රට කරන්න පුළුවන් කාට ද කියලා. සජිත් ප්‍රේමදාස මහතාට පුළුවන් ද රට කරන්න. එතුමා ළඟ ඉන්න අය කියන කතා ඇහැව්වාම, එතුමා අමාත්‍යාංශය කරපු හැටි දැක්කම තේරෙනවා එතුමට රට කරන්න බැහැ කියලා. රස්සාවක් නොකරපු, ව්‍යාපාරයක් නොකරපු, අත්දැකීමක් නැති අයට රටක් කරන්න බැහැ. මේ රට තියෙන තත්ත්වය අනුව ජාත්‍යන්තරය එක්ක සබඳතා තියෙන රනිල් වික්‍රමසිංහට හැර වෙනත් අයෙකුට මේ රට ගොඩගන්න බැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න වැඩිම මන්ත්‍රීවරුන් පිරිස එතුමා සමඟ එකතුවෙලා ඉන්නවා.

සජිත් ප්‍රේමදාස මහතාට කිව්වා අර්බුදය වෙලාවේ රට භාර ගන්න කියලා. හර්ෂ කීවේ මේක භාර ගත්තොත් ආයේ බලයට එන්න බැහැ කියලා. අනුර කුමාරට ආරාධනා කළා. බැහැ කීවා. වජිර ඇමැතිතුමා, අපි රනිල් වික්‍රමසිංහ මහතා හම්බවුණාම භාර ගන්න පුළුවන් ද කියලා ඇහැව්වම පුළුවන් කියලා කීවා. අද ලෝකයම කියනවා රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු දෙකටම කරපු දේ ප්‍රාතිහාර්යයක් කියලා. අද ලෝකයම පිළිගන්නවා කෙටි කාලයක් තුළ වෙනස් වුණා ප්‍රධාන රටක් ලංකාව කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ හැර වෙන කෙනෙක් පාර්ලිමේන්තුව තුළ නැහැ.

නාමල් රාජපක්ෂලගේ දේශපාලනය නිසා තමයි අර මයිනා ගෝ ගමට ගහන්න ගිහිල්ලා රටක්ම ගිනිබත් කළේ. ඒ අය කරපු වැඩේ නිසා තමා ගම්වල හිටපු පාක්ෂිකයන්ට, අපිට වන්දි ගෙවන්න සිදු වුණේ. රට වට්ටලා, ආර්ථිකය විනාශ කරලා තවත් එනවා ඡන්දය ඉල්ලන්න.

පසුගිය කාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, කැබිනට් ඇමති නාමල් රාජපක්ෂ, අනිත් කැබිනට් ඇමැති චමල් රාජපක්ෂ ඉතින් රට කරන්න තිබුණනේ. රට වට්ටලා, ආර්ථිකය වට්ටලා, අපිව විනාශ කළා. අපේ අවුරුදු තිහක දේශපාලනය නැති කළා.

දැන් මේ රට යන විදියට යන්න නම් රනිල් වික්‍රමසිංහ හැර වෙනත් නායකයෙක් නැහැ. වෙන විකල්පයක් ගැන හිතුවොත් මාස තුනයි, මාස හයයි. කලින් තත්ත්වයටත් එහා යනවා.

රටේ ජනතාව දැන් රනිල් වික්‍රමසිංහ මහතා ගැන කතා කරනවා. රට මේ විදිහට යන්න ඕනේ. නැතිනම් මේ රට බංගලිදේශය වගේ වෙයි කියලා ජනතාව තේරුම් අරගෙන තියෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT