ත්‍රිකුණාමලයේ පදිංචිව සිටින සිය ඥාතියකුගේ විවාහ මංගල්‍යෝත්සවයකට සහභාගි වී දින 10කට පමණ පසු නැවත නිවෙසට පැමිණෙන විට නිවෙස හොරු බිඳ මැණික් ගල් 500, රිදී මුදු 100ක් සමඟ පවුම් දෙකහමාරක් බරැති රන් තැල්ලක් සොරාගෙන ගොස් ඇතැයි සඳහන් කරමින් ව්‍යාපාරිකයකු වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
රිදී මුදු, මාල නිෂ්පාදනය කරනු ලබන ව්‍යාපාරයක නිරතව සිටින මෙම ව්‍යාපාරිකයාගේ නිවෙස පිහිටා ඇත්තේ වැල්ලම්පිටිය පොලිස් වසමේ අවිස්සාවේල්ල පාරට මුහුණලාය.
පසුගිය 11 වැනිදා උදෑසන ව්‍යාපාරිකයා සිය අඹුදරුවන් සමඟ ත්‍රිකුණාමලයට ගොස් එහි දින 10ක් ගතකර නැවත නිවෙසට පැමිණ ඇත්තේ පසුගිය 21 වැනිදාය. ඒ පැමිණ නිවෙසේ ඉදිරිපස දොර විවෘත කර නිවෙස තුළට ඇතුළු වූ විට පෙනී ගොස් ඇත්තේ නිවෙස හොරු බිඳ ඇති බවය. ඒ බව ඔහු වැල්ලම්පිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.
නිවෙස පිටුපස තාප්පයට ගොඩවී පිටුපස කොටසේ වීදුරු ජනේලයක් බිඳ නිවෙසට ඇතුළු වී යකඩ අල්මාරියක සහ කබඩ් එකක තිබූ මැණික් ගල්, රිදී මුදු හා තැල්ල සොරාගෙන ඇති බව පෙනී යන බව වැල්ලම්පිටිය පොලිසිය සඳහන් කරයි.
මෙම ව්‍යාපාරිකයාගේ බිරියගේ පියා වසර තුනකට පමණ පෙර මියගොස් ඇත. ඔහු නවරත්න මුදු නිෂ්පාදනය කළ ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි. පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ බිරියගේ පියා විසින් මුදුවලට ඔබ්බවීමට ගෙනවිත් තිබුණු විවිධ වර්ගයේ කුඩා මැණික් ගල් 500ක් ද සොරාගෙන ගොස් ඇති බව ව්‍යාපාරිකයා සිය පැමිණිල්ලෙහි සඳහන් කර ඇති බව ද පොලිසිය කියයි.
සොරාගත් තැල්ලෙහි කුඩා දියමන්ති කැට ඔබ්බවා තිබුණු බව ද දියමන්ති සමඟ එම තැල්ල රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා බව ද ව්‍යාපාරිකයා පොලිසියට පවසා තිබේ. රිදී මුදු හා මැණික් ගල්වල වටිනාකමක් තමාට පැවසිය නොහැකි බවත් ඒවායේ වටිනාකම දන්නේ මියගිය සිය බිරියගේ පියා බවත් ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත.
මැණික් ගල් දමා තිබී ඇත්තේ පෙට්ටි 07ක බව ද ව්‍යාපාරිකයා පොලිසියට පවසා තිබේ.
ඇඟිලි සලකුණු අංශය කැඳවා නිවෙස පරීක්ෂා කළ බව ද පොලිසිය කියයි.
සොරකම සිදුවූ නිශ්චිත දිනයක් අනාවරණය නොවන බවත් ව්‍යාපාරිකයා නිවෙසින් පිටව ගොස් නැවත පැමිණි දින 10 ඇතුළත මෙම සොරකම සිදුව ඇති බවත් පොලිසිය කියයි. මේ නිසා ආරක්ෂක කැමරා පරීක්ෂා කරමින් සැකකරුවන් හඳුනා ගැනීම දුෂ්කර මෙන්ම වෙහෙසකර කටයුත්තක් බවට පත්ව ඇති බව පොලිසිය කියයි. වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.