කැලණිය විශ්වවිද්‍යාලයේ 143 වැනි උපාධි ප්රදානෝත්සවය පසුගියදා (21) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති අතර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය මඟින් පිරිනමන ශාස්ත්‍රපති උපාධිය හිමි කර ගැනීමට 97 හැවිරිදි ලීලාවතී ඇසිලින් ධර්මරත්න මහත්මිය එහිදී සමත් වූවාය.
කැලණි රාජමහා විහාරාධිපති, කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේගේ සුරතින් ඇයට හිමි ශාස්ත්‍රපති උපාධිය පිරිනැමූහ.
1927 වසරේ නොවැම්බර් මස 30 වැනි දින වහරණ මිල්ලෑව ගමේ උපන් ලීලාවතී ඇසිලින් ධර්මරත්න මහත්මිය මිල්ලෑව බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති අතර 1946 වසරේදී ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය දෙකෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී ඇත.
1955 වසරේ රුක්ගහවිල මීවල මිශ්‍ර පාඨශාලාවේ සේවය කර ඇති ඇය නොතාරිස්වරියක වීමේ නොතිත් ආශාවෙන් පසුවූවාය. ලීලාවතී මහත්මිය නොතාරිස් විභාගය ඉහළින්ම සමත් වීමෙන් පසුව ගුරු වෘත්තියට සමු දී ඇත.
1962 වසරේ පැවති නොතාරිස්වරුන්ගේ සම්මේලනයේදී දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් ලීලාවතී මහත්මිය නොතාරිස් විභාගය සමත් වූ එකම කාන්තාව වශයෙන් සම්මානයට පාත්‍ර වී ඇත.
මෙම ශාස්ත්‍රපති උපාධිය ඇගේ ජීවිතයේ ඇය ලද විශිෂ්ට ජයග්‍රහණයක් වන බව එතුමිය ඉතාම සතුටින් පැවසීය.
කැලණිය විශ්වවිද්‍යාලයීය උසස් අධ්‍යාපන ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබන ලීලාවතී මහත්මිය විසින් හිමි කරගත් මෙම ශාස්ත්‍රපති උපාධිය උසස් අධ්‍යාපනය වෙනුවෙන් උනන්දු වන සැමට ආදර්ශයක් යැයි කුලපති හිමිපාණන් වහන්සේ පැවසූහ.
කැලණිය විශ්වවිද්‍යාල උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පීඨාධිපතිවරු, අධ්‍යයනාංශ ප්‍රධානීන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය, උපාධිධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.