එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට සමගි ජන බලවේගය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි මහතා තීරණය කර තිබේ.
අද රටේ නායකත්වය ඉල්ලා සිටින සජිත් ප්‍රේමදාස මහතා එදා අර්බුදය පැවති අවස්ථාවේ රටේත් ජනතාවගේත් වගකීම භාර ගැනීමට ඉදිරිපත් නොවූ බව පෙන්වා දෙන වික්ටර් ස්ටැන්ලි මහතා ජනතාව දැඩි පීඩාවක සිටියදී නිහඬව බලා සිටි කිසිවකු රටේ නායකත්වයට නුසුදුසු බවද කියා සිටී.
තනි මන්ත්‍රීවරයකු ලෙස එදා පාර්ලිමේන්තුවේ කටයුතු කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට යළි ගොඩනැඟීමේ අභියෝගය භාරගත් බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපතිගේ ජයග්‍රහණය සමස්ත රටේම ජයග්‍රහණය වන බවත් ඒ මහතා පවසයි.
සමගි ජන බලවේගය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි මහතා මේ බව සඳහන් කළේ එළඹෙන ජනාධිපතිවරණයේදී සිය සහාය ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදෙන බව ප්‍රකාශ කරමින් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදීය. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ, යාපනය දිස්ත්‍රික් ක්‍රිස්තියානි ආගමික කටයුතු සම්බන්ධීකාරක වශයෙන් වික්ටර් ස්ටැන්ලි මහතා පත්කෙරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සහ සමගි ජන බලවේගය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් ක්‍රියාකාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.