වවුනියාව රෝහලේදී ගැබිනි මවකගේ කුස තුළ සිටි දරුවා වෛද්‍යවරයාගේ සහ කාර්ය මණ්ඩලයේ වරදින් මිය ගිය බව පවසමින් රෝහල ඉදිරිපිට පෙරේදා (21) විරෝධතාවක් ආරම්භ කර තිබිණි.
මේ අතර මිය ගිය බිලිඳාගේ පියා විසින් වවුනියාවේ සෞඛ්‍ය බලධාරීන්ට සහ පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබූ අතර, වවුනියාව මහේස්ත්‍රාත්වරිය ද වවුනියාව මහ රෝහලට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කරන ලදී.
මිය ගිය බිලිඳාගේ පියා පොලිසියට පවසා ඇත්තේ මෙවැන්නකි.
“බිරිය පළමු දරු ප්‍රසූතිය සඳහා වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දුන් එන්නත නිසා ඇයගේ ගර්භාෂයේ තරලය පිටතට පැමිණ තිබෙනවා.
ඒ අවස්ථාවේදී ඇය වේදනාවෙන් ඒ බව වෛද්‍යවරයාට දැනුම් දීමට යන විට වෛද්‍යවරයාත්, හෙදියත් සිනා සෙමින් දුරකතන ඇමතුම්වල රැඳී සිටියා මිස බිරියගේ දුක ඇසීමට ඔවුන් කාරුණික වී නෑ. පසුව බිරියට ඇඟ පණ නැතිව ගොස් ඇඟ සීතල වන්නට පටන් ගත් අවස්ථාවේදී වෛද්‍යවරුන් ඇය රැගෙන ගොස් දරුවා එළියට අරන් තිබෙනවා. ඒත් ඒ වන විට දරුවා මිය ගිහින්.

මිය ගිය බිලිඳාගේ මව
මෙය වැරදීමක් නොව වගකීමෙන් තොරව රාජකාරිය කිරීම නිසා සිදු කරන ලද වක්‍ර මිනී මැරුමක් නිසා මේ වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන ලෙස සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.”
වවුනියාව මහ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
නමුත් මිය ගිය දරුවාගේ පවුලේ ඥාතීන් සහ හිතවතුන් වෛද්‍ය අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය පිළිගැනීමට නොහැකි බවත්, ඔවුන් සියලු දෙනාම ඔවුන්ගේ සේවකයන් ආරක්ෂා කරන බවත් කියමින් රෝහල ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ.
විරෝධතාකරුවන් පැවැසුවේ උතුරේ සෞඛ්‍ය බලධාරීන් උතුරු පළාත් ආණ්ඩුකාරවරියගේ හිතවතුන් නිසා පරීක්ෂණ පැවැත්වීමෙන් පලක් නොමැති බවයි.
පොලිසිය පැමිණ ඔවුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව පැය තුනකට පමණ පසුව විරෝධතාව අවසන් විය.